දිනසේන රතුගමගේ –
යාපනයේ චාවකච්චේරී කන්දසාමී කෝවිලේ පැවති සූරන් පෝර් ( සුර අසුර යුද්ධය ) පූජාවේදී අසුර නායකයා ලෙස පෙනී සිටි පුද්ගලයා රැගෙන ගිය දෝලාව බිමට පෙරළීම නිසා ඔහු බරපතල ලෙස තුවාල ලබා 9 දා චාවකච්චේරී රෝහලට ඇතුළත් කොට තිබේ.
ඔහුගේ වෛද්‍යවරු කොන්දේ හා දෙපා වල හා ඉල ඇටවල අස්ථි බිදීමක් සිදුව ඇති බව කොට තිබේ. දීපාවලී උත්සවයෙන් පසුව හින්දු කෝවිල් වල මෙම සූරන් පෝර් ( සුර අසුර යුද්ධය ) පිළිබිඹු කිරීම පිණිස විශේෂ සංදර්ශනයක් පැවැත්වේ.
මෙහිදී සුර නායකයා ලෙස පෙනි සිටින පුද්ගලයාව අලංකාර ලෙස සරසා දෝලාවක තබා ගෙන එක් පසෙකින් බැතිමතුන් පිරිසක් පැමිණෙන අතර අනෙක් පසින් අසුර නාකයා බැතිමතුන් පිරිසක් සමග පැමිණෙයි.
මේ දෝලා දෙකම මිනිසුන් දෙපිරිසක් විසින් කර තබා ගෙන පැමිණෙන අතර වාරයේ සුර රජු හා අසුරයා සටන් වදියි. සුර නායකයා අතින් අසුරයාගේ ගෙළ සිදීමත් සමගම රැස්ව සිටින බැතිමතුන් මල් වීසී කරමින් ඔල්වරසන් පැවැත්වීම මේ සංදර්ශනයේදී සිදුවන්නේ අතීතයේ සුර අසුර යුද්ධය යළිත් වරක් සිහිපත් කරමිණි.
චාවකච්චේරී කන්දසාමී කෝවිලේ අසුර නායකයා රැගත් දෝලාව බැතිමතුන්ගේ අත් වලින් හදිසියේම ගිලිහී යාම නිසා අසුරයා ලෙස පෙනී සිටි පුද්ගලයා වීසි වී ගොස් ඇද බිම වැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.







