මධ්‍යම කඳුකරයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග මාවුස්සාකැලේ හා ඉහළ කොත්මලේ ජලාශ අද (11) පෙරවරුවේ සිට වාන් දැමීමට පටන් ගෙන තිබේ.
මවුස්සාකැලේ ජලාශයේ වාන් දොරටු 03ක් අඟල් 03 බැගින් අද (11) පෙරවරු 06.30 ට විවෘත කළ බව එම ජලාශය භාර ඉංජිනේරුවෝ පැවසූහ.
ඉහළ කොත්මලේ ජලාශයේද එක් වාන් දොරටුවක් ස්වයංක්‍රීයව ඊයේ (11) පෙරවරුවේ විවෘත වී ඇත. මස්කෙළිය මාවුස්සාකැලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමත් සමග කැනියොන්, ලක්ෂපාන හා විමලසුරේන්ද්‍ර යන පොකුරු ජලාශවල වාන් දොරටුද විවෘත කර තිබේ.
ජාතික ජලවිදුලිබල පද්ධතියට අයත්, ලක්ෂපාන ජල විදුලිබලාගාර සංකීර්ණය යටතේ ඇති ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය, විමලසුරේන්ද්‍ර හා කැනියෝන් යන ජල විදුලිබලාගාර 05 සඳහා ප්‍රධාන වශයෙන් ජලය සැපයෙන්නේ මාවුස්සාකැලේ හා කාසල්රි යන ජලාශ දෙකෙනි.
මෙම ජලාශ පිටාර ගැලීමෙන් කැලණි ගඟේ ජල මට්ටම ඉතා සීඝ්රයෙන් ඉහළ නගිමින් පවතින නිසා වේලි වලට පහළින් ගඟේ ජලය පරිහරණය කරන ජනතාවට දැඩි විමසිල්ලෙන් සිටින ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය ඉල්ලීමක් කරයි.