මනම්පිටිය නිමල් ජයරත්න –
මෙවර මහ කන්නයේ මහවැලි බී කළාපයේ වී අස්වනු නෙළීමත් සමග පොළොන්නරුවේ මහා පරිමාණ සහල් සහ වී මෝල් ව්‍යාපාරිකයින් වී අස්වනු ඉතා අඩු මිලට මිලදී ගැනීමේ ජාවාරම සුපුරුදු ලෙස ක්‍රියාත්මක කර තිබෙන බව මහවැලි බී හා සී කලාපවල ගොවි සංවිධාන නියෝජිතයින් සහ ගොවීහු සඳහන්ක කරති.
තමන් විසින් ඉතා දුක් මහන්සියෙන් නෙළාගත් වී අස්වනු ඉතා අඩු මිලට ගැනීම බලවත් අසාධාරණයක් බවත්, පොළොන්නරුවේ මහා පරිමාණ වී මෝල් සහ සහල් ව්‍යාපාරිකයින් හිතුමතේට වී වලට මිල තීරණය කර ඇති බවත් ගොවීහු කියති.

වී සඳහා නිෂ්පාදන වියදම් සලකා බලන කල මෙවර මහ කන්නයේ වී කිලෝවක් සඳහා රුපියල් 150 ක් 160 ත් අතර මිලක් තීරණය කළ යුතු නමුත් රජය මගින් වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ මෙතෙක් පොළොන්නරුවේ සිදු නොකිරීම නිසා මහා පරිමාණ ව්‍යාපාරිකයින් තම වී අස්වනු තුට්ටු දෙකට ලබා ගැනීමට කටයුතු කර ඇති බවද ගොවීහු කියති.
මේ වනවිට පෞද්ගලික වෙළඳුන් තෙත සම්බා වී කිලෝවක් රුපියල් 80-90 අතර මිලකටත්, නාඩු අමු වී කිලෝවක් රුපියල් 90කටත් මිලදී ගැනීම නිසා තමන්ට මෙවර මහ කන්නේ වී වගාවෙන් පාඩු සිදුවන බව ගොවීහු කියති.
මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඉතා කඩිනමින් රජය වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන ලෙසද ගොවීහු ඉල්ලති.
අඩු මිලට වී ලබාගැනීම පිළිබඳ පොළොන්නරුව ප්‍රදේශයේ වී මෝල් හිමියන්ගෙන් අප දුරකථනයෙන් කළ විමසීමකදී ඔවුන් සඳහන් කළේ, අමු සම්භා වි කිලෝවක් රුපියල් 120 කටත්,වි යළි සම්භා කිලෝවක් රුපියල් 138 කටත් මිලදී ගනිමින් සිටින බවයි.
එමෙන්ම අමු නාඩු වී කිලෝවක් රුපියල් 95ක් සහ වියළි වී කිලෝවක් රුපියල් 115ක මිලකටත් මිලදී ගැනීම් කටයුතු සිදුකරන බවද පෞද්ගලික වී මෝල් හිමියන් කීපදෙනෙක් කීහ.
රජය වී ම්ලදී ගැනීමේ වැඩපිළිවෙළ පිළිබඳ වී අලෙවි මණ්ඩලයේ පොළොන්නරුව දිස්ත්‍රික් කළමනාකාර නිමල් ඒකනායකගෙන් දුරකථනයෙන් කළ විමසීමකදි සඳහන් කළේ, වී මිලදි ගැනීමේ වැඩපිළිවෙල මේ මස 03 වෙනිදා මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් ආරම්භ කරන බවය.
වී මිලදී ගැනීමට මුල් වටයේ මධ්‍යස්ථාන හතරක් ආරම්භ කරන බවත්, එක් ගොවියෙකුගෙන් වී කිලෝ 2500 සිට5000 දක්වා ලබා ගැනීමට කටයුතු කරන බවත් කී දිස්ත්‍රික් කළමනාකරවරයා ඒ අවශ්‍ය මුදල් ප්‍රතිපාදන රජය විසින් වෙන් කර ඇති බවය.







