ඉදිරියේ දී කිසිදු සාමකාමී උද්ඝෝෂණයක් සම්බන්ධයෙන් ප්‍රචණ්ඩකාරීව ආරක්ෂක අංශ කටයුතු නොකරන බවට පොලිස්පතිවරයා පොරොන්දු වූ බව මානව හිමිකම් කොමසාරිස් වෛද්‍ය නිමල් කාරුණාසිරි මාධ්‍යයට පැවසුවේය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ පොලිස්පති සී.ඩී වික්‍රමරත්න ඇතුළු උසස් පොලිස් නිලධාරීන් 06ක් මානව හිමිකම් කොමිසමට ගෙන්වා සිද්ධිය පිළිබඳ ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුවය.
මෙහිදී තමන් කිසිම උද්ඝෝෂණ කරුවෙකුට වෙඩි තැබීමට නියෝග නොකළ බව පොලිස්පතිවරයා පවසා ඇත. මානව හිමකම් කොමසාරිස්වරයා මාධ්‍යයට කීවේ පොලිස්පතිවරයා මීට මාස ගණනකට පෙර සිට උද්ඝෝෂණ කිසිවකට ගිනි අවි භාවිතා නොකරන ලෙස උපදෙස් දී ඇති බවය.
නමුත් කෑගල්ල සිද්ධියේදී තුවක්කුව පාවිච්චි වී ඇති බව ඔහු පැවසුවේය. ඒ සම්බන්ධව පොලිසිය විනයානුකූලව කටුතු කිරීමට තීන්දු කර ඇති බවත්, දැනට සිදුවූ සිද්ධිය සම්බන්ධ සියලු තොරතුරු පොලිස්පතිවරයා විසින් මානව හිමිකම් කොමිෂන් සභාවට ඉදිරිපත් කිරීමට මානව හිමිකම් කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට එකඟවූ බවත් කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසුවේය.







