දිනසේන රතුගමගේ –
- නෙඩුන්කේණි පුරාණ වඩ්ඪමාන පබ්බත විහාරය, මුලතිව් පුරාණ කුරුඳුමලේ ආරාම සංකීර්ණය පුරාවිද්‍යාත්මකව තහවුරු කිරීම දෙමළ හින්දු උරුමය විනාශ කිරීමක් බව සුමන්තිරන් මාධ්‍ය හමුවක් තබා කියයි…
උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් රජය බලහත්කාරයෙන් අත්පත් කර ගන්නා ලද සියළුම ආගමික ස්ථාන සම්බන්ධව නඩු පවරණ බවත් මේ ක්‍රියාවට එරෙහිව එම පළාත් පුරා විරෝධතා දියත් කිරීමට දෙමළ ජාතික සන්ධානය සූදානම් බව එම්.ඒ.සුමන්තිරන් මන්ත්‍රීවරයා ඊයේ (30) වවුනියාවේදී පැවසීය.
සුමන්තිරන් මන්ත්‍රීවරයා සමග දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා උතුරු පළාත් සභාවේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය පී.සත්‍යලිංගම් විසින් වවුනියාවේදී පවත්වන ලද සාකච්ඡාවකින් පසුව මාධ්‍යවේදීන්ට මේ බව කියා සිටියේය.
රජය විවිධ ආයතන හා නිලධාරීන් යොදවා පනත් වෙනස් කරමින් හින්දු ජනතාවට අයත් ආගමික ස්ථාන බෞද්ධාගමික ස්ථාන බවට පත් කරන බවත් උතුරේ පෞද්ගලික ඉඩම් අත්පත් කරගෙන ආගමික ස්ථාන ඉදි කිරීම සඳහා ලබා දෙන බවත් කී සුමන්තිරන් මන්ත්‍රීවරයා දෙමළ ජාතික සන්ධානය මේ ක්‍රියාවන්ට තරයේම විරෝධය පලකොට සිටින බව පැවසීය.
වවුනියාව නෙඩුන්කේණී ආදී ලිංගේස්වර කෝවිල මුලතිව් ආදී සිවන් අයියනාර් කෝවිල හින්දු බැතිමතුන්ගෙන් ඉවත් කරගෙන බෞද්ධයින්ට ලබා දී ඇති බවත් කන්කසන්තුරේ පෞද්ගලික ඉඩමක බෞද්ධ විහාරයක් ඉදි කරන බවත් කී මන්ත්‍රීවරයා ඊට අමතරව උතුරේ ඉඩම් විශාල ප්‍රමාණයක් රජය විසින් අත් පත් කරගෙන බෞද්ධ ආගමික ස්ථාන තැනීමටත් විවිධ සමාගම් වල විවිධ කාර්යයන් සදහා ලබා දෙන බවත් සඳහන් කළේය.
මේ සියළු ක්‍රියාවන්ට එරෙහිව පෙබරවාරී මස 3 දා සිට 6 වෙනිදා දක්වා උතුරේ විවිධ පළාත් වල දෙමළ ජාතික සන්ධානය විසින් විරෝධතා පවත්වන බව කී සුමන්තිරන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දෙමළ දේශපාලන පක්ෂ මේ කටයුතු වලට ජනතාව සමග එකතු වී සහය ලබා දෙන බවද ප්‍රකාශ කළේය.