සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි නලීන් බණ්ඩාරගේ සුඛෝපභෝගි රථයේ පසුගිය 03 වැනිදා අනතුරට පත් වූ 22 හැවිරිදි තරුණයා පුරා දින 06ක් තිස්සේ කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිහි විසඥව ගත කරන බවත් මේ වනවිට ඔහුගේ ජීවිතය පවත්වා ගන්නේ යන්ත්‍ර උපයෝගී කරගෙන බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි.
ඔහුගේ ජිවිතය සම්බන්ධව විශ්වාසයක් තැබිය නොහැකි මට්ටමට මේ වනවිට තත්ත්වය අසාධ්‍ය වී ඇතැයි ද එම ආරංචි මාර්ග කියයි.
පසුගිය 03 වැනිදා අලුයම 3.30ට පමණ කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කොන්ගස්දෙණිය හන්දිය අසල දී සිදුවූ මෙම අනතුරින් බරපතල තුවාල ලැබූ තරුණයා වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එම අවස්ථාවේ දීම කොළඹ ජාතික රෝහලට මාරුකර යවා තිබිණි.

මන්ත්‍රිවරයා ගමන් ගත් සුඛෝපභෝගී රථය පාලනයෙන් ගිලිහී යතුරුපැදියේ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවත් ඔවුන් නුවර දෙස කොළඹ දක්වා ගමන් කරමින් සිට ඇති බවත් වාර්තා වේ.
කෙසේ වෙතත් මේ වනවිට පොලිසිය පාර්ශවයෙන් මේ අසරණ මිනිස්සුන්ට සාධාරණයක් ඉටු වීමට ඇති ඉඩකඩ අසුරා ඇතැයි ඔවුහු චෝදනා කරති.
මාධ්‍ය අංශ ද මේ සම්බන්ධව පොලිසියෙන් විමසන සෑම අවස්ථාවකම ඔවුන් නිශ්ඡිත පිළිතුරු දීම මහරිමින් සිටින ආකාරය පසු ගිය දින කීපය පුරාම දැකිය හැකි විය.
මෙසේ අනතුරට ලක්ව ජිවිතයේ අවසන් පැය කීපය ගෙවා දමමින් ඉන්නේ තිහාරිය කළගෙඩිහේනේ පදිංචි 22 හැවිරිදි ශානුක රවිඳු නැමැති තරුණයෙකි. ඔහු වෘත්තිය ලෙස යතුරු පැදි අලෙවි ව්‍යාපාරයක් පවත්වාගෙන යන බව වාර්තා වේ.
මව අහිමි තරුණයාගේ පියා මේ වනවිට බරපතල මානසික වියවුලකට පත් වී ඇති අතර විදේශගතව සිට මේ ආරංචියත් සමග නිවසට පැමිණ ඇති සොයුරිය ද රෝගී වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන ඇත.
මේ සිද්ධිය සම්බන්ධ විමර්ශන පැවරී ඇත්තේ නිට්ටඹුව පොලිසිය වෙතය.








