දිනසේන රතුගමගේ –
විදේශ රටක සිට පුද්ගලයෙකු විසින් මෙහෙයවමින් ඇති, යාපනයේ චුන්නාකම් එවිනි ප්‍රදේශයේ ක්‍රියාත්මක අපරාධ කල්ලියක් අවි ආයුධ සමග චුන්නාකම් පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
නිවසක් තුළ පවත්වා ගෙන ගිය මෙම අපරාධ කල්ලියේ එක් සාමාජිකයෙකු ඊයේ (08) පොලීසිය විසින් ආයුධ සමග අත් අඩංගුවට ගෙන ඇති අතර සෙසු පිරිස පලා ගොස් ඇත.

ස්විස්ටර්ලන්තයේ පදිංචි පුද්ගලයෙකු විසින් මෙම අපාරධ කල්ලිය මෙහෙයවා ඇති අතර යාපනයේ සිදු වූ අපරාධ විශාල සංඛ්‍යාවක් මේ කල්ලිය විසින් ලබා ගත් කොන්ත්‍රාත්වලට අනුව සිදු වූ බවට පොලීසියට තොරතුරු හෙළි වී තිබේ.
ඒ අනුව මෑතකදී යාපනයේ සිදු වූ නිවාසවලට බෝම්බ ගැසීම් පුද්ගලයින් කඩු වලින් කපා දැමීම් බිය කිරීම් කප්පම් ගැනීම් නිවෙස් වලට ගිනි තැබීම් මේ කල්ලිය විසින් සිදු කරගෙන ගොස් තිබේ .
මෙම කල්ලියේ සක්‍රීය සාමාජිකයින් දස දෙනෙකු පමණ කටයුතු කොට ඇති අතර තවත් අවස්ථා වලදී කුළී පදනම මත තවත් පිරිස් මේ කල්ලිය විසින් අපරාධ සඳහා යොමු කොට ඇත.
අත් අඩංගුවට පත් සැකකරු ළඟ තිබී කඩු කිනිසි හා දේශීය වශයෙන් නිෂ්පාදිත තවත් ආයුධ කීපයක් ද පොලිස් අත් අඩංගුවට ගෙන ඇත.
සැකකරුගේ දුරකථනය පරීක්ෂා කිරීමේදී ස්විස්ටර්ලන්තයේ සිටින අපරාධ කල්ලිය මෙහෙයවන පුද්ගලයාගෙන් ලැබුණු විධාන හා කොන්ත්‍රාත් කීපයක් දුරකතනයේ සටහන්ව තිබී ඇත.
සිදුව ඇති මුදල් ගණුදෙණු පරීක්ෂා කිරීමට ඔවුන්ගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමටද පොලීසිය පියවර ගෙන තිබේ.
සැකකරුගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඔහුව මල්ලාකම් අධිකරණයට ඉදිරිපත් කිරීමට චුන්නාකම් පොලීසිය පියවර ගෙන ඇත.







