දිනසේන රතුගමගේ
සිංහල ජනතාවගෙන් පිරිසක් රජය සමග විරසකව ගැටුම් ඇති කර ගන්නා පරිසරයක දෙමළ ජනතාව ඒ දෙස බලා සිනාසීම නොකළ යුතු බවත් සියලු ජාතීන්ට අයත් දේශපාලනඥයින් මහජන මුදල්වලින් පෞද්ගලික සැප සම්පත් විදීමට යාම නිසා රටට මේ තත්ත්වය උදා වූ බවත් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද සංගරී 23 දා යාපනයේදී පැවසිය.
යාපනයේ පිහිටි ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ පක්ෂ කාර්යාලයේදී මාධ්‍යවේදීන්ට අදහස් දැක් වූ හෙතෙම කියා සිටියේ මේ තත්ත්වයට දෙමළ දේශපාලනඥයින්ද වගකිව යුතුව ඇති බවයි.
රට මුහුණ පා ඇති දැඩි ආර්ථික අර්බූදය සම්බන්ධයෙන් මහජනතාවට කළ හැකි දෙයක් නොමැති බවත් සියළු දේශපාලනඥයින් මේ අවස්ථාවේදී රට ගැන සිතා විශාල කැපකිරීමක් කළ යුතු බවත් කී පක්ෂ නායකයා දේශපාලනඥයින් විසින් විඳිනු ලබන මහා පරිමාණයේ සැප සම්පත් අතහැර දමා ජනතාවට සහන සලසා දීමට පියවර ගත යුතුව ඇතැයිද කියා සිටියේය.
ජනාධිපතිවරයාට මේ රටේ ජනවාර්ගික ප්‍රශ්නය විසඳා දෙමළ ප්‍රශ්නයට විසදුමක් ලබාදීමටත් රටේ සංවර්ධන ක්‍රියාදාමයන් සඳහා වේගවත් ගමනක් දියත් කිරීමටත් හැකියාව හා ශක්තිය තිබෙන නමුත් ඔහුට වැරදි උපදෙස් ලබා දුන් පිරිසකගේ වුවමනාවන්ට කටයුතු කිරීම නිසා ජනාධිපතිවරයා මේ තත්ත්වයට පත්ව ඇති බව ආනන්ද සංගරී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියා සිටියේය.
ජනතාව ජනාධිපතිවරයාට එරෙහිව විරෝධතා දක්වද්දී දෙමළ ජන්තාව ඉන් සතුටට පත් වී අත්පොලසන් නොදිය යුතු බවත් රටේ සිංහල ජනතාවට වඩා දෙමළ ජනතාවට ප්‍රශ්න ඇති බව දෙමළ ජනතාව මනාව තේරුම් ගත යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය.
වසර ගණනාවක් පවති යුද්ධය නිසා ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණට ඉතා ප්‍රබල ලෙස දේශපාලනයට පිවිසීමට හැකියාව නොලැබුණු බවත් එල්.ටී.ටි.ඊ.සංවිධානයේ අසාධාරණ බලපෑම් නිසා ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්ව වෙනත් ගමනක් යාමට පටන් ගත් නමුත් තමන්ට ඒ අවස්ථාවේදී ප්‍රභාකරන්ගෙන් මරණීය තර්ජන එල්ල වූ බවත් ඔහු සඳහන් කළේය.
වර්තමානය වන විට දෙමළ දේශපාලනය තුළ දක්නට ඇත්තේ දැඩි ව්‍යාකූලභාවයක් බව පෙන්වා දුන් ඔහු ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ මේ රටේ පැරණිම දෙමළ දේශපාලන පක්ෂය හැටියට දෙමළ ජනතාව සමග රැඳී සිටින බවත් පෞද්ගලික වාසි වෙනුවෙන් තම පක්ෂය ප්‍රතිපත්ති පාවා නොදෙන බවත් ආනන්ද සංගරී හිටපු මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.







