දිනසේන රතුගමගේ –
යාපනයේදී සංවිධනයකොට තිබූ තිලීපන්ගේ ගුණ සමරු උළෙල මෙවර නොපවත්වන ලෙස යාපනය අධිකරණය මගින් 14 දා තහනම් නියෝගයක් නිකුත් කොට තිබේ.
තිලීපන්ගේ 37 වෙනි වසර ගුණ සමරුව සැප්තැම්බර් මස 15 වෙනිදා සිට 26 වෙනිද දක්වා කෝපායී ප්‍රදේශයේ පිහිටි තිලීපන්ගේ ස්මාරකය අබියසදී පැවැත්වීමට යාපනයේ ස්වේච්ඡා සංවිධන කීපයක් හා තිලීපන්ගේ ගුණ සමරු කමිටුව තීරණය කොට තිබුණි.

එහෙත් කෝපායී පොලීසිය යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කරණ ලද පෙත්සමක් මගින් ප්‍රකාශ කොට තිබුණේ මැතිවරණ සමයක් තුළ එවැනි විශාල ජනකායක් රැස්වෙන දේශපාලනය පදනම් කරගත් උළෙලකට ඉඩ දිය නොහැකි බවයි.
ඒ අනුව එම උත්සවය තහනම් කරමින් නියෝගයක් නිකුත් කළ යාපනය අධිකරණය එම උත්සවය සංවිධානය කළ දෙමළ ජාතික ජනතා පෙරමුණේ පාර්ලිමේන්තු මාන්ත්‍රී සෙල්වතුරෙයි ගජේන්ද්‍රන්ට හා යාපනය හිටපු නගරාධිපති එස්. මනිවන්නන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝගයක් නිකුත් කොට තිබේ.
ඉන්දීය සාම සාධක හමුදාව ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර පළාත්වලින් ඉවත්ව යායුතු බව හා තවත් ඉල්ලිම් කීපයක් මූලික කරගෙන මාරාන්තික උපවාසයක් දියත් කළ තිලීපන් එම උපවාසය ආරම්භ කළ දිනය හා මරණයට පත් වූ දිනය අතර කාලය ඔහුගේ ගුණ සැමරීම පිණිස යොදාගෙන තිබේ.







