මනම්පිටිය නිමල් ජයරත්න –
වෙසක් කූඩු ඉදිකිරීමට උණබට කපා, අවසානයේදී වැවට දියනෑමට ගොස් නිවෙස්වෙත පැමිණෙමින් සිටි තරුණයන් පිරිසක් ගමන් ගත් ටිපර් රථයක් ඇල්ලේවැව මාර්ගයේදි අද ( 03 ) සවස පාරෙන් ඉවතට පැන පෙරළී සිදුවූ අනතුරෙන් එහි ගමන් ගත් අවුරුදු 18 ක තරුණයෙක් මියගොස්, සම වයසේ තරුණයන් පස් දෙනෙකු තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති බව මනම්පිටිය පොලිසිය කියයි.
මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ පැලටියාව අංක 562 ලිපිනයේ පදිංචිව සිටි වන්නකු මුදියන්සේලාගේ අනුහස් දිල්හාර නැමැති තරුණයෙක් බව පොලිසිය කියයි.
ටිපරයේ තට්ටුවට යටවීමෙන් ඔහු මියගොස් ඇතිි අතර, තුවාල ලැබූ සෙසු තරුණයන් මනම්පිටිය රෝහලෙන් පොළොන්නරුව මහ රෝහලට වැඩිදුර ප්‍රතිකාර සඳහා යවා ඇති බවද පරීක්ෂණ සිදුකරන පොලිසිය සඳහන් කරයි.
මෙම අනතුර සිදුවන විට ටිපර් රථයේ තරුණයන් අට දෙනකු ගමන් කර තිබෙන බවත්, ඔවුන් වෙසක් කූඩු තරඟයක් සඳහා උණ බට කැපීමට ගොස්, දියනෑම සඳහා ඇල්ලේවැව බණ්ඩාර වැවට ගොස් ආපසු නිවස් කරා එමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇති බව මනම්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල සරත් කුමාර අප කළ විමසීමකදී පැවසීය.
මෙම අනතුර සම්බන්ධ මනම්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.







