ජනාධිපති අනුර කුමාර දිසානායක මීට සුළු මොහොතකට පෙර වියට්නාමය බලා දිවයිනෙන් පිටත්ව ගියේය.
වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) ගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම රාජ්‍ය සංචාරයට එක් වේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මැයි 04 වන දා සිට 06 වන දා දක්වා සිදු කරන වියට්නාම් රාජ්‍ය සංචාරය අතරතුර වියට්නාම් ජනාධිපති සහ අගමැතිවරයා සමඟ නිල සාකච්ඡාවල නිරත වීමටත්, කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් හමුවීමටත් නියමිතය.
තවද, හෝ චි මිං නගරයේදී මැයි 06 වෙනි දින ආරම්භ වන එක්සත් ජාතීන්ගේ වෙසක් දින උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වන ජනාධිපති අනුර කුමාර දිසානායක එහි ප්‍රධාන දේශනයද පවත්වනු ඇත.
එසේම, මෙම සංචාරයේදී දෙපාර්ශ්වය අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමටද, ව්‍යාපාරික ප්‍රජාව හමු වී සාකච්ඡා පැවැත්වීමටද අපේක්ෂිතය.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ මෙම රාජ්‍ය සංචාරයට එක්වෙති.







