සබරගමුව විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ තාක්ෂණ විද්‍යා පීඨයේ සිසුන්ට නවක වදය ලබා දීම සම්බන්ධයෙන් සිදුකෙරෙන ඉදිරි විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දීමට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය නියෝග කර තිබේ.
නවකවද අපරාධයක් සම්බන්ධයෙන් පසුගිය 29 දා අඟහරුවාදා සමනලවැව පොලිස් ස්ථානයට ලැබුණු පැමිණිල්ලක් අනුව ඊයේ (02) නවක වදයට ලක් වූ එම විශ්වවිද්‍යාලයේ සිසුන් 20 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගැනීම පොලිසිය කටයුතු කර තිබිණි.
මෙම නවක වදය දරාගත නොහැකිව තාක්ෂණ විද්‍යා පීඨයේ දෙවැනි වසරේ සිසුවෙක් වූ චරිත් දිල්ශාන් නැමැති සිසුවෙක් සිය දිවි නසා ගත් බවට මේ වනවිට දැඩි සමාජ මතයක් නිර්මාණය වීමත් සමග මේ සම්බන්ධව විධිමත් විමර්ශනයක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ මැදිහත් වීමෙන් සිදුවෙමින් ඇත.
ඊයේ ජනාධිපතිවරයා සිරස රූපවාහිනියේ සටන වැඩසටහනට එක් වෙමින් ප්‍රකාශ කළේ කුමන හෝ හේතුවක් මත කිසිවෙකුට තවත් අයෙක් කවර හෝ පීඩනයකට ලක් කිරීමේ කිසිම අයිතියක් නැති බවත්, විශ්වවිද්‍යාලයේ ඉහළ වසරේ සිසුවෙක් වීම නවක සිසුවෙකු හිංසනයට ලක් කිරීමේ බලයක් උපදවන්නේ නැති බවත් ය.
ඔහු පැවසුවේ අපරාධ සඳහා දඬුවම් නොලැබෙන කලාප රට තුළ නැති බවය. මේ වනවිට ආන්දෝලනයට ලක් වී ඇති සරසවි සිසුවාගේ මරණයට නවකවදය සම්බන්ධ සිද්ධියක් පරීක්ෂණවලදී අනාවරණය වුවහොත් වැරදිකරුවන් විෂයෙහි අපරාධ නීතිය ක්‍රියාත්මක කරන බව සහතික කළ ජනාධිපතිවරයා රජය කිසිසේත් අනුමත නොකරන නවකවද සිදුවීම් නියතවම විශ්වවිද්‍යාල පරිපාලන අධිකාරිය විසින් වලක්වාගත යුතු බව කීවේය.
විශ්වවිද්‍යාල පරිපාලන අධිකාරිය ඒ සඳහා අපොහොසත් වුවහොත් මේ පසුගාමී පරපීඩක ක්‍රියාවලිය නැවැත්වීමට රජය මැදිහත්වන බව ජනාධිපතිවරයා රටට දැනුම් දුන්නේය.







