ලලිත් චාමින්ද –
කොළඹ 02 ජේම්ස් පීරිස් මාවතේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් අක්කර 06 ක පමණ ඉඩමක් 2019 වසරේදී අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමතියකින් තොරව රුපියල් බිලියන 12ක මුදලකට 99 අවුරුද්දකට බදු දී ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා රැස්විමේ දි අනාවරණය විය.
මෙම ඉඩමට අදාළ බදු ගිවිසුම කෙටුම්පත් කිරීමේදී අධ්‍යක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කළ හා අනුමත කළ බදු කොන්දේසිවලට අමතරව අධ්‍යක්ෂක මණ්ඩලය අනුමත නොකළ වෙනත් කොන්දේසි ඇතුළත් කර ඇති බව හෙළිදරව් විය.
කෙසේ වෙතත් අදාළ ගිවිසුම් කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් නීති අධ්‍යක්ෂකට එරෙහිව විනය පරීක්ෂණ ක්‍රියාත්මක වෙමින් පවතින අතර අදාළ ඉඩමේ සංවර්ධන කටයුතු මේ දක්වා සිදු කර නොමැති බවද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප්) අනාවරණය විය.
එමෙන්ම නාගරික සංවර්ධන අධිකාරිය සතු කොටුව ඩී. ආර් විජේවර්ධන මාවතට මායිම්ව පිහිටි අක්කර 2 රූඩ් 2යි පර්චස් 21.4ක ඉඩමක් සංවර්ධනය කිරීම සඳහා අධ්‍යක්ෂක මණ්ඩලයේ විධිමත් අනුමැතියකින් තොරව බදු දීම හේතුවෙන් රුපියල් මිලියන 330ක අලාභයක් අධිකාරියට දැරීමට සිදුවූ බවද මෙහිදී අනවරණය විය.
ඒ අනුව මෙම සිදුවීම් පිළිබඳව විධිමත් වාර්තාවක් සති දෙකක් තුළ කාරක සභාවට යොමු කරන ලෙස පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
මෙහිදී කරුණු දක්වමින් ජාතික විගණන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් නාගරික සංවර්ධන අධිකාරියේ ගිණුම් පද්ධතියේ ගැටලුකාරී තත්ත්වයන් හඳුනාගෙන තිබෙන බව පෙන්වා දුන්හ. අධිකාරිය සතු අයෝජන ඉඩම්වල වටිනාකම් තක්සේරු කර ඇති ආකාරයද ප්‍රශ්නකාරී බව එම නිලධාරීහු පෙන්වා දුන්හ.
පාර්ලිමේන්තු සංකීර්ණය පවතින ඉඩමේ අයිතිය තවමත් නාගරික සංවර්ධන අධිකාරිය සතුවන බව පෙන්වා දුන් විගණන දෙපාර්තමේන්තුවේ නිලධාරීහු එම ඉඩමේ හිමිකාරිත්වය පාර්ලිමේන්තුවට පැවරීමට කටයුතු කරන ලෙසටද උපදෙස් ලබා දුන්හ. මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා නාගරික සංවර්ධන අධිකාරිය සතු සියලුම ආයෝජන ඉඩම්වල සියලු විස්තර ඇතුලත් සම්පුර්ණ වාර්තාවක් සති දෙකක් තුළ කාරක සභාවට ලබාදෙන ලෙස නියෝග කරනු ලැබිය.
මේ පිළිබඳ කරුණු අනාවරණය වුයේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.







