දිනසේන රතුගමගේ –
වවුනියාව පූවරසන්කුලම අලුත්කෝවිල්කුලම ප්‍රදේශයේ ස්ථාන තුනක කොටි සාමාජිකයින්ගේ අවි හා රත්තරන් වළලා ඇති බවට ලද තොරතුරක් මත වවුනියාවේ ආරක්ෂක අංශ ඊයේ ( 12 ) එම ස්ථාන තුනේ කැණීම් කටයුතු ආරම්භ කළහ.
යුද සමයේදී මේ ස්ථාන තුනේම කොටි සාමාජිකයින් විසින් ඔවුන්ගේ කඳවුරු පවත්වා ගෙන ගිය බවත් ඒ කාලයේදී කඳවුරු ඉවත් කොට වෙනත් ස්ථාන වලට යාමේදී ඔවුන් සතු අවි ආයුධ හා රත්තරන් තොග මේ ස්ථාන වල වළ දැමූ බවත් කොටි සංවිධානයේ හිටපු සාමාජිකයෙකු විසින් ලබා දුන් තොරතුරකට අනුව මේ ස්ථාන තුනේ කැණීම් කටයුතු ආරම්භ කොට තිබේ.
පූවරසන්කුලම පොලිසිය විසින් වවුනියාව මහේස්ත්‍රාත් වසීම් අහමඩ් මහතා වෙත ඉදිරිපත් කරණ ලද වාර්තාවකට අනුව එම ස්ථාන වල කැණීම් කටයුතු සිදු කිරීම පිණිස අධිකරණ නියෝගයක් ලබා ගෙන තිබුණි.
ඒ අනුව මහේස්ත්රාත්වරයාද එම ස්ථානයට පැමිණ සිටි අතර පුරා විද්‍යා නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් ආරක්ෂක අංශ සමාජිකයින් මෙම කැණීම් කටයුතු වලට සහභාගී වී සිටියහ.
බැකෝ යන්ත්‍ර දෙකක් යොදාගෙන මෙම ස්ථන තුනේ කැණීම් කටයුතු ආරම්භ කොට ඇති අතර එම ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් යොදා තිබේ.