කීර්ති ප්‍රනාන්දු –
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරින් විසින් ඊයේ ( 26 ) දින කොළඹ, කොටහේන ප්‍රදේශයේ ගබඩා පරික්ෂා කිරීමකදී, ඇසුරුමෙහි කල් ඉකුත්වන දිනය හා නිෂ්පාදිත දිනය වෙනස් කල කුරක්කන් ටොන් 22ක් සහ කූනිස්සන් කිලෝග්‍රෑම් 975ක් වෙළඳපලට නිකුත් කරමින් තිබියදී අත් අඩංගුවට ගෙන තිබේ.
එහිදී කුරක්කන් කිලෝග්‍රෑම් 30 බැගින් වූ ඇසුරුම් 740ක, නිෂ්පාදිත වර්ෂය 2024 ලෙස හා එය මාස 12ක් ඇතුළත භාවිතා කළ යුතු බවට ඉන්දියානු නිෂ්පාදකයා විසින් සඳහන් කොට තිබුනද, ශ්‍රී ලාංකික ආනයනකරු විසින් ඇසුරුම් කල වර්ෂය හා මාසය, 2024 අගෝස්තු සහ කල් ඉකුත්වන වර්ෂය 2025 අගෝස්තු ලෙස මාස 24ක් ඉදිරියට යොදමින්, 2025 ජූලි ලෙස ස්ටිකරයක් මගින් වෙනස් කර වෙළඳපලට නිකුත් කිරීමට කටයුතු යොදා තිබිණි.
තවද කූනිස්සන් කිලෝග්‍රෑම් 5 බැගින් වූ ඇසුරුම් 195ක නිෂ්පාදිත වර්ෂය හා මාසය 2024 ජූලි ලෙස හා කල් ඉකුත්වන වර්ෂය හා මාසය 2024 දෙසැම්බර් ලෙස සඳහන් කර තිබුනද ඒ මත, නිෂ්පාදිත වර්ෂය හා මාසය 2024 ඔක්තෝම්බර් සහ කල් ඉකුත්වීමේ දිනය 2025 සැප්තැම්බර් ලෙස ස්ටිකරයක් මගින් වෙනස්කර වෙළෙඳපලට නිකුත් කිරීමට කටයුතු යොදා තිබිණි.
මෙම කරුණු අධිකරණයට වාර්තා කර අදාල ව්‍යාපාරිකයාට විරුද්ධව නීතිමය කටයුතු සිදුකිරීමට කටයුතු යොදා ඇති අතර ඉදිරි උත්සව සමය තුළ මෙවැනි භාණ්ඩ වෙළඳපලට නිකුත් කිරීම වැලක්වීමට දිවයින පුරා විමර්ශන සහ වැටලීම් සිදුකරන ලෙස පාරිභෝගික සේවා අධිකාරිය නිලධාරින්ට උපදෙස් ලබාදී ඇතැයි එම අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් පවසයි.







