ජාලිය වීරක්කොඩි –
රට ක්‍රිකට් වේදනාවේ කරවටක් ගිල්වා නිර්වින්දනය කර තිබේ. අයවැයට පෙර දෙදිනම වෙන් කෙරුණේ මිනිස්සුන්ගේ හැඟීම් යළි යළිත් තෙරපමින් රටටත් ක්‍රිකට්වලටත් ඵලදායී නොවන යෝජනාවක් වෙනුවෙනි. එදින විවාදයට ගැනීම තිබුණු මුදල් පනතක් විවාදයට ලක් වූයේ නැතිව සම්මත කරගනු ලැබුවේය. මේ පනතේ තිබුණේ මොනවාදැයි රට දන්නේ නැත.
ඉන්දියාවට ලකුණු 55කට දැවී ගිය පසුත් ලකුණු 50කට දැවි ගියදා සේම පාර්ලිමේන්තුව විවාද කළේය. කතානායකතුමා මීට පෙර කියා තිබුණේ පාර්ලිමේන්තුව රැස්වන දිනක විනාඩියක වියදම රුපිලයල් ලක්ෂයක් බවය. අගමැති දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුව රැස්වන එක දිනය වියදම දෙකෝටි පනස් පන් ලක්ෂයක් බව පැවසුවේය. අයවැට පෙර දෙදින පැවැත්වූ විවාදයේ වියදම කෝටි 5කි. නැවතුනේ දූෂිතයන් අයි.සී.සී.ය ට ගොස් ක්‍රිකට් තහනම් කිරීමෙනි.
රටේ ප්‍රශ්න එතැනමය. මිනිස්සු මිලියන ගණනක් අද රෑත් බඩගින්නේ සිටිති. ඖෂධ නැතිව සිදුවන නොනිල මරණ සෑම ගමකින්ම ඇසෙමින් ඇත. කාන්තාවන් සහ දරුවන් ලක්ෂ 09ක් මන්දපෝෂණ අවදානමෙන් පෙළෙන බව සෞඛ්‍ය ඇමති පාර්ලිමේන්තුවට කීවේ මාස තුනකට කලිනි. සෞඛ්‍ය අමාත්‍යාංශය මීට සතියකට පෙර නිවේදනයක් නිකුත් කරමින් වසය අවුරුදු 12-13 අතර දරුවන් බහුලව පාසල් හැර යමින් ජීවත් වීම සඳහා සුළු රැකියා කරන බව වාර්තා කර තිබිණි. මේ ප්‍රවණතාවය වැඩිවී ඇත්තේ කොළඹ නාගරික පරිසරය තුළය. අප ඉන්නේ එවැනි රටකය.
විදේශ ණයවලින් හොරකම් කරන, ව්‍යාපෘතිවලින් හොරකම් කරන, ආයෝජනවලින් පමණක් නොව, බෙහෙත් පෙත්තෙනුත් හොරකම් කරන කාලකණ්නිගෙන් සමන්විත පාර්ලිමේන්තුවක් තවත් දූෂිතයන් පිරිසක් ගැන වද වෙති. ඒ දූෂිතයන්ට යන්න කියා යෝජනා සම්මත කරන මේ දූෂිතයන්ට ඉවත් වන්නැයි කීවේ අවුරුද්දකට පෙර මුළු රටම පාරට බැසීමෙන් අනතුරුවය. එහෙත් ඒ දූෂිතයන් ගියේ නැත. යෝජනා සම්මත කරගෙන ඔවුන් යන්නට කියන ක්‍රිකට් දූෂිතයන්ද එසේය. උන් යන්නේත් නැත. රටට වෙන දෙයක් නැත.
දරුවෙකුට පෝෂණය සහිත ආහාර වේලක් දෙන්නට, උන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් පිරිවැය දැරීමට, බදු බරින් මිරිකෙමින් අවම ජීවිත තත්ත්වයක් පවත්වා ගැනීමට නොහැකි ජනතාවක් සහිත බඩගින්නෙන් පෙළෙන රටක අය – වැයට දවස් කීපයකට පෙර සිට ක්‍රිකට් ඇටේ තලා හොදට ලුණු මිරිස් දමා සූප්පු කරන්නට දී තිබේ.
ඉතිහාසය පුරාම දේශපාලනය මිනිසුන් නිර්වින්දනය කිරීම සඳහා නිල සෙව්වේය. ජාතිය, ආගම, ජාතික ආරක්ෂාව, පිළිබඳ නිල පිරිමැද්දේය. ඒ තැන් උත්තේජනය කර නිර්වින්දනය කළ නොහැකි ජාතියක් නිර්වින්දනය කිරීමට අලුත් තැනක් පක්ෂ විපක්ෂ ස්මාර්ට් දේශපාලනය විසින් සොයාගෙන ඇත. ඒ ක්‍රිකට් ය.
මිනිස්සුන්ට හෙට රටේ අය – වැය ද කියාවත් නිනව්වක් නැත. අපට වැටෙන පරිදි ක්‍රිකට් දූෂණ සම්බන්ධ ඇති වූ සම්මුතිය මේ රටේ සමස්ථ දේශපාලන ආර්ථික සමාජ දූෂණයට එරෙහිව ප්රතිස්සංකරණයක් සඳහා එක් වරක් හෝ ඇති වී තිබුණානම් අපි බංගලියන්ගෙනුත් හිඟා කන්නට වූ තැනකට වැටෙන්නේ නැත. මිනිසුන්ගේ ජීවිත වෙනුවෙන් එක් වරක් හෝ එකට එක් වී සාධාරණ තීන්දුවක් ගැනීමට පාර්ලිමේන්තුවට හැකි වී නම් අද රෑ බඩගින්නේ නිදන පුංචි උන් මිලියන ගණනකට ඒ ඉරණම අත් වන්නේ නැත.
දිනමිණ පුවත්පත මෙසේ වාර්තා කර තිබේ.
2024 අය වැය වාර්තාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මුදල් අමාත්‍යවරයා ලෙස හෙට (13) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
දැන් අය – වැය අවසන් අදියර සකස් කිරීමේ කටයුතු සහ ඉදිරිපත් කිරීම පිළිබඳව එතුමා සැලසුම් සකස් කරමින් හිඳී.
අද පෙරවරුවේ ඒ සඳහා උපදේශක මණ්ඩල එක් වී ඇත.
ජනතාව මුහුණ දෙන කෙටිකාලීන ගැටළු කෙරෙහිත් අවධානය යොමුකරමින් දීර්ඝ කාලීනව රට නගා සිටුවීම පදනම් කරගත් අයවැයක් හෙට (13) දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මාධ්‍යයට පවසා ඇත.
හෙට දිනයේදී ඉදිරිපත් කිරීමට නියමිත අයවැය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශ පරිශ්‍රයේදී අද පස්වරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබිණි. අද රාත්‍රියේ දී අය – වැය ලේඛණය මුද්‍රණය වනු ඇත.
සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.
මේ රටේ ඇත්තන්ට දැන් කිව යුතු පණිවිඩයක් ඇත. දැන් ඔය ක්‍රිකට් වලින් රිදුනු තැන්වල තල තෙල් ටිකක් හෝ ගාගෙන පිළිවෙළක් වෙන්න… හෙට අයවැය.