අතුරු ප්‍රශ්නයක් ඇසීම සඳහා විනාඩි තුනක කාලයකටත් වඩා වැය කිරීම සම්බන්ධව කථා නායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න කථානායකවරයා ලෙස විමසන අවස්ථාවේ දී කිපුන පාර්ලිමේන්තු මන්ත්රීනී රෝහිනී කුමාරි කවිරත්න දැඩි ස්වරයෙන් “කෑ ගහන්නේ…. කට වහගෙන අහගෙන ඉන්න” යැයි කථානායකරවරයාට කළ ප්‍රකාශයත් සමග අද පාර්ලමේන්තුව නොසන්සුන් වුනේය.
මේ අවස්ථාවේ දී කථානායකවරයා රෝහිනී කුමාරි කවිරත්න මන්ත්‍රීවරියගෙන් ඇසුවේ ඔබතුමිය කතා කරන්නේ කාටදැයි දැනගෙන කතා කරන ලෙසත් මෙවැනි හැසිරීම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකට කිසිසේත් නොගැලපෙන අශෝභන එකක් බවය.
මන්ත්‍රීවරිය දීර්ඝ විස්තරයක් කරමින් එල්ටී.ටී.ඊ සංවිධානය සහ ජනතා විමුක්ති පෙරමුණ දළදා මාලිගාවට ප්‍රහාර එල්ල කිරීමට පැමිණි ආකාරයත්, එම ප්‍රහාර එල්ල කළ අය දැනට ලේවැල්ල ප්‍රදේශයේ පදිංචි වී සිටින බැවින් අවශ්‍ය නම් විමර්ශන කළ හැකි ආකාරයත් සම්බන්ධව කතා කර අවසානයේ දී ඒ හේතු නිසා වසා දැමූ දළදා මාළිගාව ඉදිරිපිට පාර යළි විවෘත වන්නේ කවදාදැයි ඇසුවේය.
ඒ විවෘත කිරීම ගැන යළි යළිත් අතීත සිද්ධි සිහිකරමින් කතා කරන විට කථානායකවරයා අනවශ්‍ය කාලය නොගන්නා ලෙස දැන්වීමට ගිය අවස්ථාවේ රෝහිනී කුමාරි කවිරත්න කථානායවරයාට කෑ ගසා කීවේ කට වසාගෙන අසා සිටින ලෙසය.
පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු නැගී සිට කෑ කෝ ගසමින් පාර්ලිමේන්තුව දෙවනත් කරද්දී කථානායකවරයාට එම නොසන්සුන් තත්ත්වය පාලනය කරගෙන සභාව මෙහෙයවා ගන්නට හැකි විය.







