දිනසේන රතුගමගේ –
කච්චතීව් දූපතේ පිහිටි ශාන්ත අන්තෝනී දෙව්මැදුරේ වාර්ෂික මහා මංගල්ලය මෙවරත් ඉන්දීය හා ලාංකික බැතිමතුන්ගේ සහය මත පෙබරවරී මස 27 හා 28 යන දිනයන්හි පැවැත්වීමට පියවර ගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් යාපනය දිසාපති මරදලිංගම් ප්රදීපන්ගේ ප්රධානත්වයෙන් යාපනය දිසාපති කාර්යාලයේදී 27 දා පවැත්වුණි.
එහිදී පැමිණෙන බැතිමතුන්ට අව්යශ්ය මූලික පහසුකම් සලසා දීමට නාවික හමුදාව ඉදිරිපත් වූ අතර මෙවර කච්චතීව් මංගල්ලයට බැතිමතුන් විසිපන් දහසක් පමණ පැමිණෙනු ඇතයි බලාපොරොත්තු වෙයි.
ඉන්දීය බැතිමතුන් හා ශ්රීලාංකික බැතිමතුන් එක්ව ශ්රී ලංකාව තුළ පවත්වනු ලබන එකම මංගල්ලය මෙම කච්චතීව් මංගල්ලය වන අතර සිරිමා ශාස්ත්රී ගිවිසුමට අනුව කච්චතීව් මංගල්ලය පැවැත්වෙන දින දෙකක කාලය තුළ පමණක් ඉන්දීය බතිමතුන්ට වීසා ලබා ගැනීමකින් තොරව ශ්රී ලංකාවට පැමිණ කච්චතීව් මංගල්ලයට සහභාගී වීමට අවසර ලැබී තිබේ.
කච්චතීව් දූපත ශ්රී ලංකාවට ඉන්දීය රජය විසින් පවරා දි ඇත්තේ එම දූපතේ පිහිටීම අනුව ඉන්දීය රජයට එහි කටයුතු පාලනය කිරීමට ඇති අපහසුව නිසාත් එම දූපත ශ්රී ලංකාවේ යාපනයට ආසන්නයේ පිහිටා තිබීමත් යන හේතූන් මතය.
දූපත ශ්රී ලංකාවට පවරා දීමෙන් පසුව රජය හා නාවික හමුදාව අනුගමනය කරණ ප්රතිපත්ති හා නීති මත ඉන්දියාවේ සිට තහනම් භාණ්ඩ මෙරටට රැගෙන ඒම සීමා වී ඇති අතර දෙරට අතර අතීතයේදී සිදු වූ මිනිස් ජාවාරම ද සීමා වී තිබේ.
1974 වසරේදී සිරිමා ශාස්ත්රී ගිවිසුමට අනුව කච්චතීව් දූපත ශ්රී ලංකාවට ඉන්දීය රජය විසින් පවරා දෙන ලද අතර මේ වන විට තමිල්නාඩුවේ දේශපාලන නායකයින් එම දූපතේ අයිතිය ආපසු ශ්රී ලංකාවෙන් ලබා ගන්නා ලෙස ඉල්ලා තිබේ.
එවැනි කාල වකවානුවකදී මෙවරද කච්චතීව් මංගල්ලය පැවැත්වීම විශේෂ සිද්ධියකි.







