දිනසේන රතුගමගේ –
තලෙයිමන්නාරමේ සිට ධීවර බෝට්ටුවක ආධාරයෙන් ඉන්දියාවට පලා ගිය මවක් හා දරුවන් දෙදෙනෙකු ධනුස්කොඩි පොලීසිය විසින් ඊයේ ( 6 ) අත් අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් පොලීසියට පවසා ඇත්තේ ඉන්දියාවේ සරණාගතභාවය ලබා ගැනීම පිණිස මෙසේ පැමිණි බවයි.
ස්වාමි පුරුෂයා නොමැතිව කාන්තාවක් සිය කුඩා දරුවන් දෙදෙනෙකු සමග තනිවම ඉන්දියාවට පැමිණීම ධනුස්කොඩි පොලීසියට ප්‍රශ්නයක් වී තිබේ.
තලෙයිමන්නාරම ප්‍රදේශයේ පදිංචි යෝගා වල්ලි (34) සහ ඇයගේ දරුවන් වන අනුජා (08) සහ මිෂාල් (05) යන අය මෙසේ ඉන්දියාවට ගොස් ඇත්තේ ධීවර බෝට්ටුවකට ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් දෙලක්ෂ පනස් දහසකක් ගෙවීමෙන් පසුව බව ඔවුන් පොලීසියට ප්‍රකාශ කොට තිබේ.
බෝට්ටුකරු මේ පිරිස ධනුස්කොඩි මුහුදු වෙරලාසන්නයේ පිහිටි වැලි කන්දකට ගොඩ බස්සවා පලා ගොස් තිබේ.
කාන්තාව කෑ ගසමින් සිටි අවස්ථාවේදී වෙරලාරක්ෂක බෝට්ටුවක සිටි පිරිසක් ඔවුන්ව දැක ඒ බව ධනුස්කොඩි පොලීසියට දැණුම් දී ඇත. පසුව ඔවුන්ව අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කරගෙන යන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
එම මාධ්‍ය වාර්තා අනුව මොවුන් පිළිබදව සැකයක් නොවුවහොත් ඔවුන්ව මණ්ඩපම් සරණාගත කදවුරේ නිලධාරීන්ට බාර දෙන බවත් යම් සැකයක් වේ නම් ඔවුන්ව ආපසු හරවා ශ්‍රී ලංකාවට එවන බවත්ය.







