ඉන්දියාව මත පැනවූ සියයට 25ක ආනයන තීරුබදු ඉවත් කරන බවට වූ විධායක නියෝගයකට තමන් අත්සන් තැබූ බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (06) නිවේදනය කළේය.
ජනාධිපති ට්‍රම්ප් පසුගිය සඳුදා ඉන්දියාව සහ ඇමරිකා එක්සත් ජනපදය වෙළෙඳ ගිවිසුමකට එළඹ ඇති බව නිවේදනය කිරීමෙන් දින කිහිපයකට පසුව මෙය සිදු වූ අතර පසුව එය අගමැති නරේන්ද්‍ර මෝදි විසින්ද තහවුරු කරන ලදී.
සිය සමාජ මාධ්‍ය ගිණුම වන Truth Social හි සටහනක් හරහා ඉන්දීය වෙළෙඳ ගිවිසුම පිළිබඳව නිවේදනය කළ ට්‍රම්ප් තවදුරටත් එයින් කියා සිටියේ මින් ඉදිරියට ඉන්දියාව රුසියාවෙන් ඛනිජ තෙල් මිලදී ගැනීම නොකරනු ඇති බවයි. රුසියාවෙන් ඉන්දියාව ඛනිජ තෙල් මිලදී ගැනීම දෙරට අතර මතභේදයට තුඩු දුන් ප්‍රධාන කරුණක් වූ අතර .කෙසේ වෙතත්, අගමැති මෝදි ඒ බව මෙතෙක් ප්‍රකාශ කළේ නැත.
ට්‍රම්ප් විසින් අත්සන් කරන ලද විධායක නියෝගයෙන් ඉන්දියාව රුසියාවෙන් තෙල් ආනයනය කිරීම “සෘජුව හෝ වක්‍රව” නැවැත්වීමට “කැප වී” ඇති බවට ඔහුගේ ප්‍රකාශය නැවත අවධාරණය කර තිබේ. ඉන්දියාව එක්සත් ජනපදයෙන් බලශක්ති නිෂ්පාදන මිලදී ගැනීමට ද කැපවී ඇති බව එහි වැඩිදුරටත් සඳහන් විය.
“විශේෂයෙන්, ඉන්දියාව රුසියානු සමූහාණ්ඩුවේ තෙල් සෘජුව හෝ වක්‍රව ආනයනය කිරීම නැවැත්වීමට කැපවී සිටින අතර, එක්සත් ජනපදයෙන් එක්සත් ජනපද බලශක්ති නිෂ්පාදන මිලදී ගන්නා බව පවසා ඇත. ඉදිරි වසර 10 තුළ ආරක්ෂක සහයෝගීතාව පුළුල් කිරීම සඳහා එක්සත් ජනපදය සමඟ රාමුවකට මෑතකදී කැපවී සිටී,” යනුවෙන් නියෝගයේ සඳහන් වේ.





