ඉරානය ඇමරිකානු ප්‍රහාරවලට ‘සියලු ශක්තියෙන්’ විරුද්ධ වීමට පොරොන්දු වෙමින් මේ වනවිට ඉරානය නිල ප්‍රකාශයක් නිකුත් කර තිබේ.
ඉරානයේ විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජනපදය සිය න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල කළ නවතම ප්‍රහාර ජාත්‍යන්තර නීතියේ “දරුණු හා පෙර නොවූ විරූ උල්ලංඝනයක්” ලෙස හෙළා දකිමින්, එවැනි “ආක්‍රමණයකට” එරෙහි වීමට අයිතියක් ඇති බව අවධාරණය කර ඇත.
රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාවලියක් මධ්‍යයේ, ඊශ්‍රායලයේ ආක්‍රමණශීලී ක්‍රියාවට සහාය දීමෙන් රාජ්‍ය තාන්ත්‍රිකභාවය පාවා දුන්නේ එක්සත් ජනපදය බව ලෝකය අමතක නොකළ යුතු බවත්, ඇමරිකාව ඉරානයට එරෙහිව භයානක යුද්ධයක් දියත් කරමින් සිටින බවත් ඉරාන විදේශ අමාත්‍යාංශය උපුටා දක්වමින් ඉරානයේ තස්නිම් ප්රවෘත්ති සේවාව ප්‍රකාශ කර ඇත.
එක්සත් ජනපදය කිසිදු නීති රීති හෝ ආචාර ධර්ම පිළිපදින්නේ නැති බවත්, එම ජන සංහාරක පාලන තන්ත්රය අරමුණු ඉදිරියට ගෙන යාම සඳහා සියලුම නීති විරෝධී ක්‍රියාවන් හෝ අපරාධය සිදුකරන බවත් පැහැදිලි වී ඇතැයි ඉරාන විදේශ අමාත්‍යාංශය කියයි.
“ඇමරිකානු මිලිටරි ආක්‍රමණයට සහ මෙම තක්කඩි පාලන තන්ත්රය විසින් සිදු කරන ලද අපරාධවලට එරෙහිව සහ ඉරානයේ ආරක්ෂාව සහ ජාතික අවශ්‍යතා ආරක්ෂා කිරීමට තම සියලු ශක්තියෙන් නැගී සිටීමේ අයිතිය ඉරාන ඉස්ලාමීය ජනරජය සලකයි,” එය තවදුරටත් පැවසීය.







