රාජකාරි තහනම් කර ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ගොනු කරන ලද රිට් පෙත්සම සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කිරීම අභියාචනාධිකරණය විසින් මාර්තු 17 වන දින දක්වා කල් තැබීය.
අභියාචනාධිකරණයේ විනිසුරු මොහොමඩ් ලෆාර් සහ සරත් දිසානායක යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ද්විපුද්ගල විනිසුරු මඩුල්ලය මෙම නියෝගය ලබා දුන්නේය
දේශබන්දු තෙන්නකෝන් සිය රිට් පෙත්සමෙන් ඉල්ලා සිටියේ මාතර මහේස්ත්‍රාත්වරයා විසින් නිකුත් කරන ලද අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව අත්හිටුවන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසය.
වැලිගම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාතර මහේස්ත්‍රාත්වරයා මීට පෙර තෙන්නකෝන් දුටු තැන අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබුණි.
දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා තර්ක කළේ මාතර මහේස්ත්‍රාත්වරයාගේ අත්අඩංගුවට ගැනීමේ නියෝගය නීතිමය විධිවිධානවලට පටහැනි බවය. තම සේවාදායකයාගෙන් ප්‍රකාශයක් සටහන් කර නොගෙන අත් අඩංගුවට ගැනීමේ නියෝගය මහේස්ත්‍රාත්වරයා විසින් නිකුත් කර ඇති බව ද ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.
කෙසේ වෙතත්, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ දිලීප පීරිස් අධිකරණයට දැනුම් දුන්නේ හෝටල් හිමිකරු ඉලක්ක කර ගනිමින් වෙඩි තැබීමක් සිදු කිරීමට හේතු වූ වැලිගම හෝටල් මෙහෙයුම පිටුපස මහ මොළකරු තෙන්නකෝන් බවයි.
මාතර මහේස්ත්‍රාත් අධිකරණ කටයුතුවලට අදාළ වැදගත් කරුණු තෙන්නකෝන් විසින් යටපත් කළ ආකාරය උපුටා දක්වමින් ජනාධිපති නීතිඥ දිලීප පීරිස් අධිකරණයෙන් ඉල්ලා සිටියේ ඔහු විසින් ඉදිරිපත් කළ මෙම පෙත්සම එකවරම නිෂ්ප්‍රභ කරන ලෙසය.







