ජානක ලියනආරච්චි –
අශෝක රන්වල ඉල්ලා අස්වීම නව දේශපාලන සංස්කෘතියක ආරම්භය දැයි තේරෙන්නේ නැත. එහෙත් එක දෙයක් පැහැදලිය. එළියට එන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක ජනාධිපති වීමට පෙර කියූ ආකාරයට මේ රටේ මනුෂ්‍යයින් තුළ ඇති ඇරියස්වල ප්‍රමාණය ය. ඒ ඇරියස්වල එක් ස්වරූපයක් වන්නේ තමන්ට තමන් වීම ප්‍රමාණවත් නොවීමය.
රටේ කතානායක වීමට ආචාර්ය උපාධියක් අවශ්‍ය නැත. එය පාර්ලිමේන්තුව තුළ සම්මත කරගත් බහුතරයක කැමැත්තේ ප්‍රකාශනයකි. සාමාන්‍ය පෙළ සමත් වුන්ද කථානායක ධූරය දැරූහ. පාර්ලිමේන්තුවට ගැටලුවක් වූයේ නැත. පාර්ලිමේන්තුව තුළ අට පාස් උන් ද සිටියහ. අදත් සිටිති. සාමාන්‍ය පෙළ සමත් නැති බවට විපක්ෂ නායකටත් චෝදනා එල්ල විය. එහෙත් එය දේශපාලනයේ දී මේ රටේ ප්‍රශ්නයක් වූයේ නැත. අධ්‍යාපන විධග්ධ භාවය සම්බන්ධව බරපතල ප්‍රශ්න කිරීම් කරමින් බහුශ්‍රැත පාර්ලිමේන්තු කණ්ඩායමක් රටට අවශ්‍ය බවට මතවාදය නිර්මාණය කළේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය ය. එය සාධනීය ප්‍රවේශයක් බව අප සියලු දෙනාම පිළිගත්හ.
මහා දුෂ්කර ක්‍රියාවකින් පසු සමාජය තුළ චින්තන පෙරළියක් ද සහිතව පාර්ලිමේන්තුවට තෝරා එවූ විධග්ධ පාර්ලිමේන්තු කණ්ඩායම, තමන්ගේ නායකයා ලෙස තමන් විසින් තෝරා ගත් කථානායකවරයා ඔහුටත් සනාථ කළ නොහැකි විද්වත් ආරෝපණයක් සහිත පුද්ගලයෙක් බව තේරුම් ගන්නා විට අප සිතුවේ අපට කෙසේ වෙතත් ඔවුන් තුළ යම් කම්පනයක් ඇතිවනු ඇති බවය. සමාජයට සාධාරණ ප්‍රතිචාරයක් සහිතව හැසිරෙනු ඇති බවය. කතානායකවරයාගෙන් තම ආචාර්ය උපාධිය පිළිබඳ ප්‍රශ්න කිරීමේ දී වැල් බයිලා කියන්නට පටන් ගත් විට ඉන් ඇතිවන අපේක්ෂා භංගත්වයේ මහා රිදුම ඔවුන්ටත් දැනෙනු ඇති බවය.
එහෙත් ජනාධිපතිවරයා මැදිහත්ව සිය ජනවරමේ ගැඹුර ගැන සිහිකර වැරැද්දක් කළ වුන් දණ්ඩනයට ලක් කරන බව කියනතුරු නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්නත්, වෙළෙඳ ඇමති කොණ්ඩය බොකුටු වසන්ත සමරසිංහත් රටට පෙන්නූ තුට්ටු දෙකේ චන්ඩි පාට් පුනරුද යුගයක් සහිත නව දේශපාලන සහ සමාජ සංස්කෘතියක් අපේක්ෂා කළ අප ප්‍රාර්ථනා කළ තත්ත්වයක් නොවන බව කිව යුතුව ඇත. තමන්ට ඇති ජන බලය ගැන වහසි කියමින් විපක්ෂය කතානායකවරයාට ගෙනෙන විශ්වාස භංගය ගැන ඔවුන් කී අයිආර්සී කතා අපට සිහි කළේ කෙහෙළිය රඹුක්වැල්ලගේ කුපාඩිකම පාර්ලිමේන්තුව තුළ සාධනය කළ දේශපාලන ජඩ කමය.
මේ තත්ත්වය තුළ ජනාධිපතිවරයා ජනවරමේ ගැඹුර ගැන කියා දිය යුත්තේ අපට නොව, ඔහුගේ කැබිනට්ටුවත් ඔහුගේ දේශපාලන බලයත් නියෝජනය කරන මේ උද්දච්ඡ ආකල්ප සහිත බොකුට්ටන්ටය. ජනමාධ්‍ය ඇමතිවරයා ලෙස මේ වනවිටත් ගර්හාවට ලක් වෙමින් සිටින වෛද්‍ය නලින්ද ජයතිස්සට ය.
ඉල්ලා අස් වුනාම හරිද ?
අශෝක රන්වල කථානායක ධූරයෙන් ඉවත් වීම ප්‍රශ්නය සමනය කිරීමට ප්‍රමාණවත් වනු ඇතැයි රජය සිතනු ඇත. එහෙත් මේ වනවිට අනුර කරුණාතිලකගේ උසස් උපාධියේ වලංගුතාව සම්බන්ධව ප්‍රශ්නයක් මතුවී තිබේ. නියෝජ්‍ය කථානාකවරයාගේ විශේෂඥ වෛද්‍ය අභිධානය පිළිබඳ ප්‍රශ්නයක් මතු වී තිබේ. විදුලිබල සහ බලශක්ති ඇමතිවරයාගේ ඉංජිනේරු උපාධිය සම්බන්ධව ප්‍රශ්නයක් මතු වී තිබේ. සහතික කළ හැකි විද්වතුන් ලෙස පෙනී සිටිමින් ජාතික ජන බලවේගය නියෝජනය කර පාර්ලිමේන්තුවට පත් වූ පුද්ගලයින්ගේ විද්වත් භාවයේ වලංගුතාවය සානාථ කළ නොහැකි ප්‍රලාපයන් වීම මේ මොහොතේ අප හිතනවාට වඩා බරපතල රිදුමක් උපදවන්නේය. මේ ජනතා රිදුම ඇති වන්නේ ජාතික ජන බලවේගය ගොඩනැගූ පාරිශුද්ධ බවේ ප්‍රතිරූපය ඔවුන්ටත් දරා ගත නොහැකි තරම් විශාල එකක් බැවිනි. ජාතික ජන බලවේගයෙන් මැතිවරණයට ඉදිරිපත් වන්නේ බුදු පසේ බුදු මහරහත් තලයට පත් වූ අපූරු මිනිසුන් නොව, මේ රටේ නියෝජනයක් වන ඇරියස් කාරයින් ද සහිත සමාජ කුලකයක සාමාන්‍ය පුද්ගලයින් බව ඔවුන්ටම අමතක කරවන තරම් ඔවුන්ගේ ප්‍රතිරූප නිර්මාණය ප්‍රබල වූයේය.
දැන් අප දකින්නේ බිලියන ගණන් කොමිස් ගැසූ හොරුන්, ට්‍රිලියන ගණන් වත්කම් සොරා කා සැඟවූ හොරුන්, රටේ බදු වංචාකළ මහ බැංකු කැඩූ හොරුන් සහිත ආණ්ඩු සදහා දශක ගණනක් ඉඩදී ඔවුන්ගේ හැසිරීමට උපේක්ෂා සහගත වූ මිනිසුන් තීරණාත්මක වෙනසක් අපේක්ෂාවෙන් පත් කරගත් තමන්ගේ ආණ්ඩුවේ නියෝජිතයෙකුගේ උපාධි සහතිකයකින් පවා කම්පනය වන ආකාරය ය. රන්වල ගේ ප්‍රශ්නය විසින් ප්‍රශ්න කර ඇත්තේ මේ රජය ගොඩනැගීමට දියත් කළ ප්‍රචාරණ ව්‍යාපෘතියේ පදනම වූ සදාචාරය සම්බන්ධ හරයය.
එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණ සහිත ජාතික ජන බලවේගයේ තමන් සම්බන්ධ වූ අධි තක්සේරුවත් මේ ව්‍යසනයට හේතු වූ බව අපි විශ්වාස කරමු. ජනාධිපතිවරයා විසින්ම පැවසූවේත්, ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා කීවේත් ජාතික ජන බලවේගයට එක් වූ පිට සමාජ කණ්ඩායම් අතින් වැරදි සිදුවිය හැකි නමුදු සියයට තුනක් වූ තම කණ්ඩායමේ ස්ප්‍රීතුව බොරුව වංචාව සහ රැවටීම දුරු කළ ශිෂ්ට මිනිසුන් පිරිසක් බවය. එහෙත් අද සිය ආත්ම වංචාව පිළිබඳ චෝදනා ලැබ සමස්ථ දේශපාලන කථිකාවේ හරය සමාජය ඉදිරියේ විතැන් කර ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් අප්‍රමාණ කැප කිරීම් කළ පක්ෂයේ ඉහළම ශික්ෂණය ලද බව කියන අශෝක රන්වලය. දැන් කියන ආකාරයට කථානායක පුටුවේ වාඩි කරන තුරු පක්ෂයවත් ඔහුගේ සැබෑව දන්නේ නැත. නොදන්නවාට වඩා අප විශ්වාස කරන්නේ රන්වලගේ සැබෑ කතාව කී විට එය විචාරශීලීව විමසීමට තරම් වූ විචක්ෂණ භාවය ජාතික ජන බලවේගයේ දේශපාලන උද්දච්ඡකම විසින් වසා දැමූ බවය.
දැන් රන්වල කියන ආකාරයට ඔහුට ආචාර්ය උපාධියක් තිබේ. නමුත් ඒ උපාධියේ සහතිකය ලබාගෙන නැත. එය රැගෙන ආ විට ඉදිරිපත් කළ හැකිය. එය ඉදිරියේ දී ඉදිරිපත් වනු ඇත. එතෙක් ඔහු කථානායක ධූරයෙන් ඉවත් වී තිබේ. නියෝජ්‍ය කථානායකවරයාට චෝදනාවක් එල්ල වී ඇත. අනුර කරුණාතිලකට චෝදනාවක් එල්ල වී ඇත. විදුලිබල හා බලශක්ති ඇමතිට චෝදනාවක් එල්ල වී ඇත. ඒ තමන්ට නැති විද්වත් භාවයක් මාර්කට් කළ ආත්ම වංචනිකයන් ලෙසය. එය සමාජය ඉදිරියේ නිරවුල් කරගැනීමේ නියත වගකීම ආණ්ඩුවට තිබේ. මක් නිසාද යත් නාමල් රාජපක්ෂටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධ ප්‍රශ්න මතුකිරීමට අවස්ථාව මේ ආණ්ඩුව සලසා දුන් බැවිනි.
අධිනීතිඥ අජිත් පී පෙරේරා
ඉල කැඩෙන විහිලුවක් මේ සමගම මතු වී ඇත. ඒ රන්වලට එරෙහිව විපක්ෂයේ දෝෂාභියෝගය අත්සන් කරමින් විරෝධතා පෙළ ගැස්වූ ප්‍රමුඛතමයාවන අජිත් පෙරේරා ද ලොවෙත් නැති අධි නීතිඥ අභිධානය භාවිතා කරමින් රට ගොනාට ඇන්දවීම සම්බන්ධව හෙළි වීමය. වර්ෂ 1973 වසරේ සිට මේ අධිනීතිඥ අභිධානය අහෝසි වුනේය. ලංකාවේ දැනට අධි නීතිඥ පදය සිය නමට ඉදිරියෙන් භාවිතා කරන එකම එකා අජිත් පී පෙරේරා ය. එය නීතිඥයෙක් ලෙස සිදු නොකළ යුතු සදාචාර දූෂණයකි. අප ප්‍රාර්ථනා කළ ගෞරවනීය පාර්ලිමේන්තුව දැන් අපට යළිත් විහිළු සපයමින් ඇත.
දැන් පාර්ලිමේන්තුව විසින් මැති ඇමතිවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් යළිත් යාවත්කාලීන කරන්නේය. මොක මොකා නිරුවත් වනු ඇතිදැයි අප දන්නේ නැත. කෙසේ වෙතත් මේ සංවාදය තුළ අප අත් දුටු සාධනීය කරුණු දෙකක් තිබේ.
පළමු වැන්න හොරුන්, කුපාඩින්, කොමිස්කාරයින්, කුඩු කාරයින්, බඩු කාරයින්, සල්ලාලයින්, ගේ ගුබ්බෑයමක් ලෙස විවේචනයට ලක් වුන පාර්ලිමේන්තුව දැන් එය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ උසස් අධ්‍යාපන සුදුසුකම් විමසන තැනක් බවට විතැන් වීමය. එය මරුය.
දෙවැන්න සියලුම දේශපාලන පක්ෂ කාන්තාවන් වැනි බවත් වෙනස්වන්නේ නම් පමණක් බවත්, පාක්ෂිකයෙක් නම් සිදුකළ යුත්තේ වරදට සමාව දී භාර ගැනීම බවත්ය යන යථාවබෝධය ය. එය ඊටත් වඩා මරුය.
ඒ අවබෝධය අපට දුන්නාට ජාතික ජන බලවේගයට, අශෝක රන්වලට, බොකුටු වසන්තට, නාමල් කරුණාරත්නට මෙන්ම වෛද්‍ය නලින්ද ජයතිස්සටත් ස්තුති ය. හැබැයි බිමල් රත්නායක කී ලෙස පැලවත්තට ගොස් අං කපා ගත්තේ නැත්නම් අපේ සියවස් ගණනක සිහිනයට දෙයියන්ගේ පිහිටය.







