මනම්පිටිය නිමල් ජයරත්න –
-
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 2015 ට පෙරත් ඔය ටිකම තමයි කළේ අපිට. අපි පැහැදිලිව කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයාට අපිත් එක්ක ඉන්න බැරිනම් එළියට බැහැලා යන්න…
කාබනික ගොවිතැනට එරෙහිව කරන ගොවි උද්ඝෝෂණයන් පිටුපස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිටින බවත්, ඔවුන් ආණ්ඩුවේ ඉඳගෙන අඟේ සිට කන කන්නේ නැතිව ආණ්ඩුව සමග සිටීමට නොහැකිනම් එලියට බැස යන ලෙසත් පළාත් පාලන පළාත් සභා අමාත්‍ය, පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ අද (19) සවස දිඹුලාගල දී පැවසීය..
කාබනික පොහොර යොදා එක කන්නයක් හෝ වී වගාකර ඉන් ගොවියාට පාඩු වී අසාධාරණයක් සිදු වුවහොත් එදාට ගොවීන් සමග තමා ද මහපාරට බැස උද්ඝෝෂණය කරන බව රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.
අද (19) උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ සහ, පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ගේ සහභාගිත්වයෙන් පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් රොෂාන් රණසිංහ රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කීවේය.
මෙහිදී රට තුළ මතුව ඇති පොහොර අර්බුදය පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද කීය.
“වී ගොවියා සියට පනහක් හෝ කාබනික පොහොර ඉල්ලනවා කියන්නේ රසායනික පොහොර එපා කියන එකයි.“
“ඒකෙන්ම පේනවා ආණ්ඩුවත්, ජනාධිපතිතුමාගේ කාබනික පොහොර වැඩපිළිවෙළත් ජයග්‍රහණය කළා ගෙන එක. එනිසා අපි ඉල්ලීමක් කරනවා එක කන්නයක් හෝ කන්න දෙකක් කාබනික පොහොර වලින් වී වගා කරල බලන්න කියලා. “
“අද බෝ නොවන රෝග වලට ප්‍රධාන හේතුව මේ රසායනික පොහොර බව කවුරුත් පිළිගන්නවා. ඒ නිසා තමයි අපේ රජය කොහොම හරි ගොවියා කාබනික පොහොර වගාවට හුරු කරලා වස විසෙන් තොර ආහාර වේලක් ලබාගැනීමට හුරු කරවන්න උත්සාහ කරන්නේ.“
“ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඔහුගේ ජනාධිපතිවරණට ඉදිරිපත් වෙද්දිත් ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබුණා රටට කාබනික පොහොර අවශ්‍ය බව. දැන් එතුමා කියනවා අපිට රසායනික පොහොර ඕනේ කියලා.“
“මේ උද්ඝෝෂණ පිටුපස ඉන්නේ පැහැදිලිවම ජනතා විමුක්ති පෙරමුණයි, සමගි ජන බලවේගයයි, අපේ හවුල්කාර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි බව. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 2015 ට පෙරත් ඔය ටිකම තමයි කළේ අපිට. එනිසා අපි පැහැදිලිව කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයාට අපිත් එක්ක ඉන්න බැරිනම් එළියට බැහැලා යන්න කියලා.“
මෙම අවස්ථාවට දිඹුලාගල සහ වැලිකන්ද ප්‍රාදේශීය සභාවල මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් ද එක්ව සිටියහ.