ඉඳුනිල් කහටපිටිය –
එළඹෙන සඳුදා එනම් හෙට (12) ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට “කාලීන” විරෝධතාවක් ආරම්භ කරන බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ නිවේදනය කර තිබේ. “ළමුන් වෙනුවෙන් වැඩිහිටියන් නැගී සිටීම” නමින් සංවිධානය කර ඇති මෙම විරෝධතාවය හරහා වීරවංශ අපේක්ෂා කරන අමුණු දෙකකි. එකක් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුලා ගැනීමට බල කිරීමය. දෙවැන්න අධ්‍යාපන අමාත්‍යවරිය ඉල්ලා අස්විය යුතු බවට ජන මතයක් ඇති කර එය සාක්ෂාත් කර ගැනිමය.
බැලූ බැල්මට මෙය දරුවන්ගේ අනාගතය වෙනුවෙන් පෙනී සිටීමක් ලෙස පෙනෙන්නට තිබේ. එහෙත් විමලේ ගේ දේශපාලන භාවිතය ගැන දන්නා මේ රටේ දරුවන් පවා ඔහුගේ මේ විගඩම තේරුම් ගන්නේය. මක්නිසා ද යත් රටේ අධ්‍යාපනයේ සැබෑ අවශ්‍යතාව විමලේගේ අවශ්‍යතාවයට වඩා වෙනස් තැනක තිබෙන නිසාය.
දේශපාලන පැවැත්ම සඳහා වන ‘අවස්ථාවාදය’
විමල් වීරවංශ යනු මෙරට දේශපාලන වේදිකාව තුළ “බිය වැද්දීමේ දේශපාලනය” (Fear-mongering) මැනවින් ප්‍රගුණ කළ පුද්ගලයෙකි. මීට පෙර විවිධ ජාත්‍යන්තර ගිවිසුම් හෝ නවීන තාක්ෂණික මෙවලම් හඳුන්වා දෙන සෑම අවස්ථාවකදීම ඒවා පිටුපස ඇති “අදෘශ්‍යමාන හස්තයන්” ගැන භීතිකාවක් සමාජගත කිරීම ඔහුගේ සිරිතයි.
අධ්‍යාපන පද්ධතිය ඩිජිටල්කරණය කිරීම සහ වෙබ් සබැඳි (Web links) පාසල් මොඩියුලවලට ඇතුළත් කිරීම “වාණිජමය ව්‍යාපාරයක්” ලෙස හංවඩු ගැසීම තුළින් ඔහු උත්සාහ කරන්නේ තාක්ෂණය දෙස සැකයෙන් බලන පිරිසකගේ දේශපාලන ආකර්ෂණය දිනා ගැනීමටය. ලෝකය කෘතිම බුද්ධිය (AI) සහ ඩිජිටල් අධ්‍යාපනය කරා වේගයෙන් ගමන් කරන මොහොතක, ඊට එරෙහිව පාරට බැසීම මෙරට දරුවන් තවදුරටත් සාම්ප්‍රදායික කොටුව තුළම සිර කර තැබීමට කෙරෙන යෝජනාවකි. එය මේ සියවසේ ඕනෑම කලාපයක සිටින දේශපාලකයෙකු කළ හැකි අන්ත අගතිගාමී යෝජනාවලින් එකකි.
ගෝලීය තරගකාරිත්වය සහ නවීන අධ්‍යාපනයක සාධනීය අවශ්‍යතාව
වත්මන් ලෝකයේ රැකියා වෙළඳපොළ සහ තාක්ෂණය වෙනස් වන වේගය දෙස බැලීමේදී, මෙරට පැරණි අධ්‍යාපන ක්‍රමය තවදුරටත් පවත්වාගෙන යාම දරුවන්ගේ අනාගතයට කරන බලවත් අසාධාරණයකි. දැනුම මත පමණක් පදනම් වූ (Knowledge-based) විභාග කේන්ද්‍රීය ක්‍රමයෙන් මිදී, නිපුණතා සහ කුසලතා මත පදනම් වූ (Competency-based) අධ්‍යාපනයකට යොමු වීම මේ මොහොතේ රටේ ප්‍රමුඛතම අවශ්‍යතාවයයි.
විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණය, විවේචනාත්මක චින්තනය සහ ප්‍රායෝගික පුහුණුව පාසල් විෂය මාලාවට බද්ධ කිරීම හරහා, ශ්‍රී ලාංකේය දරුවන්ට දේශීය මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ රැකියා අවස්ථා ජය ගැනීමට මාවත විවර වේ. මෙම ප්‍රතිසංස්කරණ හුදු දේශපාලන තීන්දුවක් නොව, ලෝකය සමඟ සමපාත වීමට ඇති අවසාන අවස්ථාව ලෙස අප වටහා ගත යුතුය.
ඩිජිටල් පරිවර්තනය: තිරසාර අධ්‍යාපනයක පදනම
පෙළපොතට පමණක් සීමා වූ සම්ප්‍රදායික ඉගෙනුම් ක්‍රියාවලිය වෙනුවට සබැඳි මාධ්‍ය (Online resources) සහ අන්තර්ජාල තාක්ෂණය අධ්‍යාපනයට මුසු කිරීම, වඩාත් සජීවී සහ පුළුල් ඉගෙනුම් අත්දැකීමක් දරුවාට ලබා දෙයි. එහෙත් සිදුවූ අතිශය මුග්ධ නොසලකා හැරිමක් හෝ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස නුසුදුසු වෙබ් අඩවියක් පිළිබඳ සටහනක් 6 වසර පෙළ පොතට ඇතුළත් කිරීමත් සමග දැන් ඒ අවස්ථාව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ධාරාවෙන් ඉවත් වී තිබේ. මින් මතු කිසිම පෙළ පොතක කිසිම වෙබ් අඩවියක දිගුවක් හෝ වෙබ් අඩවියක් ගැන සටහන් නොවන බව රජය කියයි.
එහෙත් වරණීය ප්‍රවේශයක් තුළ අතිශයින් වගකීම් සහගත ලෙස නියාමනය කරමින් නිර්දේශක කළ හැකි දැනුම් සාගර බඳු පිළිගත් වෙබ් අඩවි විශාල ප්‍රමාණයක් අන්තර්ජාල අවකාශයේ තිබේ. මූල්‍ය හෝ භූගෝලීය බාධාවන් නිසා ගුණාත්මක අධ්‍යාපනයට ප්‍රවේශ වීමට නොහැකි දරුවන්ට පවා මේ හරහා සම අවස්ථා උදා කර දිය හැකිය. ලෝකයේ දියුණු රටවල් මේ වන විටත් සාර්ථකව ක්‍රියාත්මක කරන මෙම ක්‍රමවේදයන් විවේචනය කරනවා වෙනුවට, කළ යුත්තේ එම තාක්ෂණය ආරක්ෂිතව සහ වඩාත් ඵලදායී ලෙස දරුවන් අතරට ගෙන යා හැකි යාන්ත්‍රණයන් ශක්තිමත් කිරීමයි. අධ්‍යාපන පද්ධතියේ මෙම ඩිජිටල් පරිවර්තනය පමාවීම යනු, මෙරට තරුණ පරපුර ගෝලීය ශ්‍රම බලකාය තුළ කොන් කර තැබීමකට සමාන වන්නකි.
විහිලු සපයන විරෝධය
ඕනෑම අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් විද්වත් කථිකාවකට සහ නියමු ව්‍යාපෘතිවලට බඳුන් විය යුතු බව සැබෑවකි. එහෙත්, එම සංවාදය සිදුවිය යුත්තේ දේශපාලන පක්ෂ මූලස්ථානවල හෝ පාරවල් අහුරාගෙන කරන විරෝධතා තුළ නොව, අධ්‍යාපනඥයින් සහ ක්ෂේත්‍රයේ විශේෂඥයින් අතරය.
ප්‍රතිසංස්කරණවල පවතින දුර්වලතා පෙන්වා දී ඒවා නිවැරදි කිරීමට විකල්ප යෝජනා ඉදිරිපත් කරනවා වෙනුවට, සමස්ත ක්‍රියාවලියම “හකුලා ගනිව් ” කියන විටම විමලේ බත්තරමුල්ල හන්දියට එන්නේ හෙලුවෙන් බව පෙනේ.
තමන්ගේ දේශපාලන ගමන්මග අර්බුදයකට ලක්ව ඇති සෑම අවස්ථාවකම “රට, ජාතිය, ආගම” හෝ “අනාගත පරපුර” පලිහක් කරගැනීමේ විමලේ ගේ සුපුරුදු නාඩගම හෙට ඉසුරුපාය ඉදිරිපිට දී නටන්නේය. මේ සඳහා විපක්ෂයේ කුමණ දේශපාලන පක්ෂයකට එකවිය හැකි දැයි දැන් අප බලාගෙන ඉන්නේය.
දෙමාපියන් ලෙස අප කල්පනා කළ යුත්තේ, අපේ දරුවන්ගේ අනාගතය තීරණය කළ යුත්තේ දේශපාලන වේදිකාවල කෑගසන කට හැකරයන් ද නැතහොත් ලෝකයේ නව ප්‍රවණතා හඳුනන අධ්‍යාපන විශේෂඥයන්ද යන්නය.







