අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ පරිසරය

ජනාධිපති විය හැකියි… ඒත් නීතියෙන් අමුඩය ගැසිය නොහැකියි…

ජයවර්ධන පුර තෙත්බිමේ මේ විනාශය නැවැත්විය යුතුය... ඔහුත් ඔහුගේ අණ අනීතිකව පිලිපදින්නුත් රටට කළ විනාශය හොඳටෝම ඇති.....

by editor
ජූනි 6, 2022
in පරිසරය
Share on FacebookShare on Twitter

සජීව චාමිකර
ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය –

ඇතුල්කෝට්ටේ, ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ විහාරාධිපති, මීගහතැන්නේ චන්ද්‍රසිරි හිමි ගේ ආරාධනයෙන්   පසු ගිය දා එම විහාරස්ථානයට ජනාධිපතිවරයා පැමිණි අවස්ථාවේ දී විහාරාධිපති හිමියන් ගේ ඉල්ලීම වී ඇත්තේ විහාරස්ථානය වටා පිහිටි ඇතුල්කෝට්ටේ තෙත් බිම් පද්ධතිය සංවර්ධනය කර දෙන ලෙස ය. ඒ අනුව ජනාධිපතිවරයා ගේ උපදෙස් මත පසුගිය මාර්තු මාසයේ දී  නාගරික සංවර්ධන අධිකාරිය හා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව එක් ව ශ්‍රී ජයවර්ධනපුර –  කෝට්ටේ අභය භූමියට අයත් මෙම ඇතුල්කෝට්ටේ තෙත් බිම ගොඩකිරීමේ හා ඇළ මාර්ග කැනීමේ කටයුතු කිසිදු අනුමැතියකින් තොර ව නීති විරෝධී ව ආරම්භ කෙරින.

මෙම නීති විරෝධී ගොඩකිරීම්  හා තෙත් බිම් කැනීම ආරම්භ කළ අවස්ථාවේ දී ඊට එරෙහි ව ක්‍රියාත්මක වූ වනජීවී සංරක්ෂණ  දෙපාර්තමේන්තුව අද වන විට නීති උල්ලංඝනය කරමින් හා අභය භූමියේ ස්වාභාවික පැවැත්මට සිදු  වන හානි කර බලපෑම් පිළිබඳ ව අවධානයට ලක් නොකර ඒ සඳහා සහය ලබාදෙමින් සිටී. මේ ඒ විනාශය සිදුවන ආකාරයයි…

නාගරික සංවර්ධන අධිකාරිය සහ ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව –

නාගරික සංවර්ධන අධිකාරිය සහ ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව එක් ව පසුගිය දශක දෙක තුළ කොළඹ ආශ්‍රිත වගුරු බිම් මේ ආකාරයෙන් අවස්ථා ගණනාවක දී ම දැවැන්ත විනාශයකට ලක් කර තිබේ. ඒ අතුරෙන් ශ්‍රී ජයවර්ධනපුර – කෝට්ටේ හා බෙල්ලන්විල – අත්තිඩිය ආශ්‍රිත තෙත් බිම් වැඩිම හානියට ලක් කළේ ය. වගුරු බිම් පද්ධතියක පාරිසරික හා ජෛව විද්‍යාත්මක වටිනාකම හා එහි ක්‍රියාකාරීත්වය පිළිබඳ ව අවබෝධයක් නොමැති මෙම ආයතන විසින් වගුරු බිම්වලට සිදු කළ විනාශය  හේතුවෙන් අද වන විට කොළඹ ආශ්‍රිත ප්‍රදේශවල ගංවතුර පාලනය කිරීම සඳහා ජනතාව ගේ බදු මුදල්වලින් රුපියල් මිලියන ගණනක් වැය කර ගංවතුර පාලන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට සිදු වී  ඇත. වගුරු බිම් ගොඩ කිරීම, වගුරු බිම් පද්ධති ඛණ්ඩනය කිරීම, වගුරු පද්ධති ජලාශ බවට පත්  කිරීම මෙන්ම වගුරු බිම් හා ඇළ මාර්ග දෙපස කළු ගල් ඇතිරීම හේතුවෙන් බොහෝ තෙත් බිම්  ආශ්‍රිත ජීවීන්ට වාසස්ථාන හා බෝවීමේ ප්‍රදේශ අහිමි වී ඇත. ඊට අමතර ව තෙත් බිමකින් සිදු වූ  විශාල ජල ධාරිතාවක් රඳවා තබා ගැනීමේ යාන්ත්‍රණය බිඳ වැටීම ද තෙත් බිම් ජලාශ බවට පත්  කිරීමෙන් සිදු වී තිබේ.

නාගරික සංවර්ධනය හා නගර අලංකරණය යන වචන භාවිත කර සිදු කළ මෙම තෙත් බිම් පද්ධති  විනාශය හේතුවෙන් අද වන විට තෙත් බිම් ආශ්‍රිත ජෛව ප්‍රජාවට දරුණු බලපෑම් එල්ල වී ඇත.  කොළඹ ආශ්‍රිත ප්‍රදේශවලට පැමිණෙන තෙත් බිම් ආශ්‍රිත සංක්‍රමණික පක්ෂි විශේෂවලට ද මේ  හේතුවෙන් ගොදුරු බිම් අහිමි වී තිබේ. එපමණක් නොව වෙරළාශ්‍රිත පහත් බිම් ප්‍රදේශවල වගුරු  පද්ධති කැණීම් කර විශාල ගැඹුරු ජලාශ ඉදි කිරීමෙන් මුහුදු ජලය රට අභ්‍යන්තර ප්‍රදේශවලට කාන්දු  වීම වර්ධනය වී පස ලවණීකරණයට ලක් වීමෙන් ගැටළු බොහොමයක් අනාගතයේ දී උද්ගත විය  හැකි ය.  මේ සියල්ලට ම හේතුව නාගරික සංවර්ධන අධිකාරියට හා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට 1971  වසරේ තෙත් බිම් සංරක්ෂණය සඳහා වන ජාත්‍යන්තර රැම්සාර් ප්‍රඥප්තිය හෝ 2006 ඔක්තොම්බර් මස  ප්‍රකාශිත ජාතික තෙත් බිම් ප්‍රතිපත්තිය හා උපායමාර්ගික සැලැසුම ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව කිසිදු  අවබෝධයක් නොමැති වීම ය. එපමණක් නොව තෙත් බිම්වල ජෛව පද්ධති කළමනාකරණය පිළිබඳව නිවැරදි දැක්මක් හා තාක්ෂණික අවබෝධයක් මෙම ආයතනවලට නොතිබීම විශාල අඩුපාඩුවකි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ශ්‍රී ජයවර්ධනපුර – කෝට්ටේ අභය භූමියේ ජෛව විවිධත්වය

වසර 30 කට වැඩි කාලයක් පරිසර අධ්‍යයන සංගමය, ලංකා කුරුලු සංගමය හා මෙම ලියුම්කරු විසින්  ශ්‍රී ජයවර්ධනපුර – කෝට්ටේ අභය භූමියේ තෙත් බිම්වල සිදු කරන ලද අධ්‍යයන මගින් අනාවරණය  වී ඇත්තේ ජීවීන් විශාල ප්‍රමාණයකට මෙම තෙත් බිම් පද්ධතිය වාසස්ථාන සපයන බව ය. විශේෂයෙන්  නේවාසික හා සංක්‍රමණික පක්ෂි විශේෂ 147 ක් පමණ මෙම තෙත් බිම් පද්ධතියෙන් වාර්තා වී ඇත.  ඒ අතර නේවාසික තෙත් බිම් ආශ්‍රිත පක්ෂීන් වන මල් කැස්වටුවා ( Painted Snipe ), ගෙඹි සේරා ( Little Grebe), හංසකාවා (Indian Darter), අළු පැස්තුඩුවා (Grey Pelican), කහ මැටිකොකා (Yellow Bittern), තඹල මැටිකොකා (Chestnut Bittern), කලපු කොකා (Grey Heron), කරවැල් කොකා  (Purple Heron) වැනි විශේෂ හා සංක්‍රමණික පක්ෂීන් වන වගුරු බිම්උකුස්සා (Marsh Harrier), දාර  කොරවක්කා (Banded Crake), රන් ඔලෙයියා (Asiatic Golden Plover) වැනි විශේෂ වේ.

අභය භූමියේ ඇළ මාර්ගවල දේශීය මත්ස්‍ය විශේෂ 18 ක් පමණ වාර්තා වී තිබේ. ඒ අතර මඩ ආඳා (Anguilla bicolor), කලපු හඳයා (Aplocheilus parvus), මඩ කනයා (Channa punctata), ලූලා   (Channa striata), ඉපිලිකඩයා (Puntius bimaculatus), හුංගා (Heteropneustes fossilis) වැනි විශේෂ  වෙයි.

තෙත් බිම් ආශ්‍රිත ව උභයජීවී විශේෂ 8 ක් පමණ හමු වී තිබේ. ගෙයි ගෙම්බා (Duttaphrynus melanostictus), සයැගිලි පළා මැඩියා (Euphlyctis hexadactylus), සුලභ හැල මැඩියා ( Minervarya agricola), විසිතුරු රතු මැඩියා (Uperodon taprobanicus), ලංකා දිය මැඩියා (Hydrophylax gracilis), පුල්ලි ගස් මැඩියා (Polypedates maculatus) වැනි විශේෂ ඒ අතර වේ.

ක්ෂීරපායී විශේෂ ලෙස අඳුන් දිවියා    කොළ දිවියා    දිය බල්ලා,   උරුලෑවා, උගුඩුවා, කළු වදුරා වැනි විශේෂ වාර්තා වේ. සමනල විශේෂ 67 ක් පමණ මෙම අභය භූමියෙන් වාර්තා වී තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර – කෝට්ටේ අභය භූමියට ඇති නීතිමය ආරක්ෂාව

මෙවන් පාරිසරික හා ජෛව විද්‍යාත්මක වටිනාකම් හේතුවෙන් පාර්ලිමේන්තුවෙන් සම්මත වූ අණ  පනත් කිහිපයක් යටතේ ශ්‍රී ජයවර්ධනපුර – කෝට්ටේ අභය භූමියට නෛතික ආරක්ෂාව හිමි ව තිබේ.

සංශෝධිත 1937 අංක 02 දරන වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 2(2) උප වගන්තියට අනුව 1985 ජනවාරි මස 9 වන දින අංක 331/8 දරන ගැසට් නිවේදනය මගින් හෙක්ටයාර  449 ක් නැතහොත් අක්කර 1110 ක් වන ශ්‍රී ජයවර්ධනපුර – කෝට්ටේ අභය භූමිය ප්‍රකාශයට පත් කර

තිබේ. 2009 අංක 22 දරන පනතින් අවසන් වරට සංශෝධිත වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතට අනුව 2(2) උප වගන්තිය යටතේ ප්‍රකාශිත අභය භූමියක වනජීවීන්ගේ පැවැත්මට හා  තෙත් බිම් පද්ධතියේ පැවැත්මට බලපෑම් වන ඕනෑ ම හානි කර ක්‍රියාවක නිරත වීම 7(1)(ආ) උප  වගන්තියට අනුව නීති විරෝධී වේ.

එවන් නීති විරෝධී ක්‍රියාවක නිරත වන පුද ්ගලයකු පනතේ 63 වන වගන්තියට අනුව මහේස්ත්‍රාත්  අධිකරණයකට ඉදිරිපත් කිරීමෙන් පසුව වරදකරුවකු කරණු ලැබූ විට පනතේ 10(ඈ) උප වගන්තියට  අනුව රුපියල් පහළොස්දහසත් පනස් දහසත් අතර දඩයකට හෝ වසර 2 ත් 5 ත් අතර බන්ධනාගාර ගත කිරීමකට හෝ මේ දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය. අභය

භූමියක් තුළ සිදු කරන වැරදි

පනතේ 67ආ1 උප වගන්තියට අනුව වරෙන්තුවක් නොමැතිව අත් අඩංගුවට ගත හැකි සංඥ්ය වැරදි ලෙස ද දක්වා ඇති අතර මෙම නීති ක්‍රියාත්මක කිරීමේ බලය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට  ඇත. ඒ අනුව ශ්‍රී ජයවර්ධනපුර – කෝට්ටේ අභය භූමි සීමාව තුළ කිසිදු සංවර්ධන ක්‍රියාකාරකමක්  නාගරික සංවර්ධන අධිකාරියට හෝ ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට මෙම පනත උල්ලංඝනය  කරමින් සිදු කිරීමේ බලයක් නොමැත.

එපමණක් නොව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට මෙම නීති ක්‍රියාත්ම කිරීම මඟ හැරීමට කිසිදු හැකියාවක් නැත. දණ්ඩ නීති සංග්‍රහයේ දහ හතර වැනි පරිච්ඡේදයේ සඳහන් සදාචාරය පිළිබඳ වැරදි  කොටසේ 289 වන වගන්තියට අනුව ව්‍යවස්ථාපිත යුතුකමක් ඕනෑවට ම නොකර හැරීම, යම්  පනතකින් හෝ ආඥාපනතකින් සඳහන් නීතියකින් තමා වෙත පැවරුණු යම් යුතුකමක් ඕනෑවට ම  නොකර හරින අවස්ථාවක දී නීතියෙන් දඩුවම් කළ හැකි ය. ඒ අනුව ශ්‍රී ජයවර්ධනපුර – කෝට්ටේ   අභය භූමියට සිදු කරන විනාශයට එරෙහි ව ක්‍රියාත්මක නොවී සිටීමට කිසිදු හැකියාවක් වනජීවී  සංරක්ෂණ දෙපාර්තමේන්තුවට නොමැත.

සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ 23බ උප වගන්තියට අනුව ප්‍රකාශිත 1993 ජුනි 24 දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර 4 කට නැතහොත් අක්කර 10 කට වැඩි තෙත් බිම් ප්‍රදේශ ගොඩ කිරීමට ප්‍රථමයෙන් හා මෙම උප වගන්තිය යටතේ ම ප්‍රකාශිත 1995  පෙබරවාරි 23 වන දින අංක 859/14 දරන ගැසට් නිවේදනයට අනුව අභය භූමියක් තුළ හෝ අභය  භූමියක මායිමේ සිට මීටර 100 ක් ඇතුළත යම් සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්නේ නම් ඊට ප්‍රථමයෙන් පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට යටත් ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගත  යුතු ය. මේ ක්‍රියා පටිපාටියෙන් තොර ව කිසිදු රාජ්‍ය ආයතනයකට ශ්‍රී ජයවර්ධනපුර – කෝට්ටේ අභය  භූමියට අයත් හෝ එහි මායිමේ සිට මීටර 100 ක් ඇතුළත පිහිටන තෙත් බිම් සංවර්ධන කටයුතු සඳහා  භාවිත කිරීමට අවසර ලබාදිය නොහැකි ය.

මෙම පනතේ 23අඅ උප වගන්තියට අනුව නිවැරදි පරිසර බලපෑම් තක්සේරු ක්‍රියාවලියට යටත් ව  අනුමැතිය ලබා ගැනීමකින් තොර ව ශ්‍රී ජයවර්ධනපුර – කෝට්ටේ අභය භූමිය තුළ හෝ එහි මායිමේ  සිට මීටර 100 ක් ඇතුළත නීති විරෝධී ව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන අවස්ථාවක දී එවන් ක්‍රියාවක  නිරත වන පුද්ගලයෙක් පනතේ 31 වගන්තියට අනුව මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු  කරනු ලැබූ විට රුපියල් 15,000 ක් නොයික්මවන දඩයකට හෝ වසර 2 ක් දක්වා බන්ධනාගාර ගත  කිරීමකට හෝ මෙම දඬුවම් දෙකට ම යටත් කළ හැකි ය.

මීට අමතර ව සංශෝධිත 1940 අංක 09 දරන පුරාවස්තු ආඥා පනතේ 43අ සහ 47 වන වගන්ති වලට අනුව ප්‍රකාශිත 2000 ඔක්තෝබර් මස 04 වන දින අංක 1152/14 දරන ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශිත 2000 අංක 01 දරන ව්‍යාපෘති වල කාර්යය පටිපාටි නියෝග වලට අනුව ඉඩම් හා තෙත් බිම් ගොඩ කිරීමට ප්‍රථම පුරා විද්‍යා හානි ඇගයීමක් සිදු කර ඒ සඳහා පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා ගේ  අනුමැතිය ලබා ගත යුතු ය. ඒ අනුව ශ්‍රී ජයවර්ධනපුර – කෝට්ටේ තෙත් බිමේ හෝ අභය භූමි සීමාව එ තුළ කිසිදු සංවර්ධන ක්‍රියාකාරකමක් නාගරික සංවර්ධන අධිකාරියට හෝ ඉඩම් සංවර්ධනය කිරීමේ  සංස්ථාවට මෙම පනත් දෙක උල්ලංඝනය කරමින් සිදු කිරීමේ කිසිදු හැකියාවක් නොමැත. මේ  ආකාරයෙන් නීතියේ ආධිපත්‍ය උල්ලංඝනය කරමින්, රටේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය බිඳ දමමින් සිදු කරන  මෙම ව්‍යාපෘතිවල අවසන් ප්‍රතිඵලය පාරිසරික බිඳ වැටීම් පමණක් නොව රටේ ආර්ථිකයේ දරුණු බිඳ  වැටීම් ඇති වීම ය. අද වන විට අප බුක ්ති විදිමින් සිටින්නේ එම තත්ත්වය ය. පොදු සමාජ  අවශ්‍යතාවන්  මත සිදු කරන සංවර්ධනය වෙනුවට පෞද්ගලික අවශ්‍යතා මත සිදු කරන සංවර්ධන ව්‍යාපෘති මගින් සිදු වන්නේ ජනතාව ගේ බදු මුදල් අවභාවිත වීම පමණක් නොව එම සංවර්ධන  කටයුතු ප්‍රතිඵල රහිත තත්ත්වයට පත් වීම ය.

එවන් තත්ත්වයන් ඇති කිරීමට දිගින් දිගට ම ඉඩ දිය යුතු නැත.

ජාත්‍යන්තර සම්මුති හා ජාතික ප්‍රතිපත්ති උල්ලංඝනය කිරීම

මෙරට පිහිටි තෙත් බිම් රාජ්‍ය ආයතනයකට අවශ්‍ය පරිදි අභිමත බලය භාවිත කර සංවර්ධනය කළ නොහැකි ය. ජාත්‍යන්තර සම්මුතීන් හා ජාතික ප්‍රතිපත්ති තුළින් තෙත් බිම් ආරක්ෂා කිරීමට රාජ්‍ය ආයතන බැදී සිටී. තෙත් බිම් සංරක්ෂණය සඳහා වන රැම්සාර් සම්මුතිය 1971 පෙබරවාරි 2 වන දින  එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 18 ක ගේ සහභාගීත්වයෙන් සම්මත කර ගත් අතර 1975 වසරේ  සිට බලාත්මක විය. 1987 වසරේ දී ශ්‍රී ලංකාව රැම්සාර් සම්මුතියට අත්සන් තැබූ අතර 1990 ඔක්තෝම්බර්  මස 15 වන දින සිට බලාත්මක විය. ඒ අනුව 2022 වසර වන විට හෙක්ටයාර 1,98,172 ක භූමි ප්‍රදේශයක් පුරා පැතිරුණු රැම්සාර් තෙත් බිම් 6 ක් ශ්‍රී ලංකාවේ ප්‍රකාශයට පත් කර තිබේ. එපමණක් නොව 2018  ඔක්තෝම්බර් 25 වන දින ප්‍රකාශයට පත් කළ ජාත්‍යන්තර රැම්සාර් තෙත් බිම් නගර 18 අතුරින් එකක්  ලෙස කොළඹ නගරය ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව මෙරට තෙත් බිම් පිළිබඳ ව විශේෂ  අවධානයක් ජාත්‍යන්තරව ද යොමු වී ඇති බව පෙනී යයි.

එපමණක් නොව 1989 වසරේ දී සකස් කළ  ආසියානු තෙත් බිම් නාමාවලියේ ජාත්‍යන්තර ව වැදගත් වන ශ්‍රී ලංකාවේ තෙත් බිම් 41 ක් හඳුනාගෙන  ඇති අතර ශ්‍රී ජයවර්ධනපුර – කෝට්ටේ අභය භූමිය ද ඒ අතර වේ. ජාත්‍යන්තරව වැදගත් තෙත් බිම්   හා ශ්‍රී ලංකාවේ සමස්ත තෙත් බිම් සංරක්ෂණය හා කළමනාකරණය කිරීමට ජාතික තෙත් බිම්  ප්‍රතිපත්තියක් හා උපායමාර්ගික සැලැස්මක් 2006 වසරේ දී සකස් කර ඇති අතර එම සියලු තත්ත්වයන්  උල්ලංඝනය කර අභය භූමියක් ලෙස ප්‍රකාශිත තෙත් බිමක් ගොඩ කිරීම හා සංවර්ධනය කිරීම රැම්සාර් සම්මුතිය හා තෙත් බිම් සංරක්ෂණ ජාතික ප්‍රතිපත්තිය උල්ලංඝනය කිරීමකි.

මෙවර ජනාධිපතිවරණයේ දී “ගෝඨාභය රට හදන සෞභාග්‍යයේ දැක්ම” නම් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ “තිරසර පරිසර ප්‍රතිපත්තියක්” කොටසෙහි සඳහන් වන්නේ “මිනිසාට මෙන් ම අනෙක් සත්ත්වයින්ට  භූමියට ඇති අයිතිය සුරක්ෂිත කරන භාරකරුවක් ලෙස රජය ක්‍රියා කළ යුතු බව ය.” මේ ආකාරයෙන්

ජනතාව සමඟ සම්මුතිගත වූ වත්මන් ආණ්ඩුවට ශ්‍රී ජයවර්ධනපුර – කෝට්ටේ අභය භූමියට අයත් තෙත් බිම් පරිසර පද්ධති විනාශ කර මිනිසා ඇතුළු සියලූ ම සත්ත්වයන්ට අහිමි කිරීමට කිසිදු අයිතියක්  නැත.

ශ්‍රී ජයවර්ධනපුර – කෝට්ටේ අභය භූමිය සංක්ෂණය කළ යුතු වන්නේ තෙත් බිම් පද්ධතියක් ලෙස ය. ගංවතුර පාලනය, ජෛව විවිධත්ව සංරක්ෂණය, තෙත් බිම අවට ජීවත් වන ජනතාවගේ යහපත් පැවැත්ම රැඳී ඇත්තේ මෙම සමස්ත තෙත් බිම් පද්ධතිය මත ය. එය විනාශ කිරීමට කිසිදු රාජ්‍ය  ආයතනයකට අයිතියක් නොමැත. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාවේ රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවීමේ මූලධර්ම සහ මූලික යුතුකම් කොටසෙහි 27(14) උප  ව්‍යවස්ථාවට අනුව ජනතාවගේ යහපත තකා රජය විසින් පරිසරය ආරක්‍ෂා කර සුරක්‍ෂිත කර වැඩිදියුණු  කළ යුතු බව සඳහන් වේ. මේ අනුව කිසිදු රාජ්‍ය ආයතනයකට අභිමත පරිදි ශ්‍රී ජයවර්ධනපුර -කෝට්ටේ අභය භූමිය හා තෙත් බිම විනාශ කිරීම සඳහා ක්‍රියාත්මක වීමට හැකියාවක් නොමැත.

එපමණක් නොව එවන් විනාශයක් නතර කිරීමට මැදිහත් වීමේ බලය සෑම පුරවැසියකුට ම ඇත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 28(ඊ) උප ව්‍යවස්ථාවට අනුව ස්වභාවධර්මය හා ස්වාභාවික සම්පත් රැක ගැනීම ශ්‍රී ලංකාවාසී සෑම තැනැත්තෙකුගේ ම යුතුකම වන බව සඳහන් වේ. ඒ  අනුව ශ්‍රී ජයවර්ධනපුර – කෝට්ටේ අභය භූමියේ සියලූ ම විනාශකාරී ක්‍රියාවන්ට එරෙහිව කටයුතු කිරීමේ බලය අප වෙත ලබා දී ඇත. එම බලය භාවිත කර සංවර්ධනයේ නාමයෙන් ජනාධිපතිවරයා ගේ නියෝග මත ශ්‍රී  ජයවර්ධනපුර – කෝට්ටේ අභය භූමිය විනාශ කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය හා ඉඩම්  සංවර්ධනය කිරීමේ සංස්ථාව සිදු කරන මෙම ක්‍රියාවලිය සම්පූර්ණයෙන් ම පරාජය කළ යුතු ව ඇත

Tags: නවතම
Share69Tweet43
Previous Post

ප්‍රභූන් බලා ගැනීමට පොලිසියේ වැඩි පිරිසක්! මහජන පැමිණිලි විභාගයට කවුරුත් නෑ!

Next Post

කොළඹ වානිජ අධිකරණය රුසියානු එරොෆ්ලොට් ගුවන් යානයට එරෙහි වාරණය අත්අහිටුවයි…

Related Posts

පරිසරය

සුරංගනා ලෝකයට ගිය ගමනක්…

ඔක්තෝබර් 20, 2025
පරිසරය

දිය සොයාගෙන ගොස් තැන තැන මඩේ එරෙන වන අලි…

සැප්තැම්බර් 19, 2023
පරිසරය

සියක් අලි මරණ මැද සමරන ලෝක අලි දිනය…

අගෝස්තු 12, 2023

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.