සුනේත්‍රා ඇතුගල්පුර – ස්විස්ටර්ලන්තයේ සිට –
ඇල්ප්ස් කඳු මුදුන් සුදු පැහැති හිමෙන් වැසෙමින් ඇත. ඒ හිමයේ සිට ගලාගෙන එන සිහිල් සුළං රැළි මා පසුකර හමා යයි. සම සීතෝෂ්ණ කාලගුණයක් උපදවන වසරේ සෞම්‍යම කාල පරිච්ඡේදය සිවිස්ටර්ලන්තයට උදා වී තිබේ. දැන් ඒ මිහිර සිත් පුරා විඳගත හැකි ජීවිත පරිනතියක් මා තුළ ඇත. ලංකාව හා බැඳුන අතීත මතක මහ මෙරක් තරම් බරට හිත් පත්ලේ තැන්පත් වී ඇති බව සැබෑය. නමුත් මම දැන් ජීවිතය දෙස බලන්නේ අතීත කාමයේ අතිශයෝක්තියෙන් මිදුන මැදහත් සිතක් සහිත මවක ලෙසය.
ද්‍රැවීය විචල්‍යයන් සහිත දේශගුණික කලාපයක පිහිටි ස්විස්ටර්ලන්තයේ ස්වභාවික පරිසරය ඝර්ම කලාපික මගේ රට සමග සැසඳීමට පදනමක් සොයා ගත හැකි ආකාරයක් මට නොපෙනේ. ලෝකයේ සෑම තැනකමට අනන්‍යවු මහා ගැඹුරු සුන්දරත්වයක් ඇති බව පමණක් මම දැන් දනිමි. අපේ ජීවිතයත් පරිසරයත් ලස්සන කරනු ඇත්තේ අපේ මනෝ භාවයන් විසින් ය.
ස්විස්ටර්ලන්තයේ යහපත්ම කාලගුණික පරිසරය නිර්මාණයවන ගිම්හාන ඍතුව ආරම්භක වකවානුව දරුවන්ට නිවාඩුය. දරුවන්ට මේ පාරිසරික චමත්කාරය සිත් පුරා විඳ ගැනීමට අවස්ථාව රටේ අධ්‍යාපන ක්‍රමය තුළින්ම නිර්මාණය කර දී තිබේ. එය දරුවන් යළි උපදින වකවානුවකි. සංජලී සහ අනුක් මේ පරිසර චමත්කාරය තුළ කිමිදෙමින් ජීවයෙන් පිරුණු දරුවන් සේ වැඩෙන ආකාරය මවක් ලෙස මහත් ආදරයෙන් බලාගෙන සිටිමි.
දැන් මා ජීවත් වන්නේ ස්විස්ටර්ලන්තයේ ඇල්ප්ස් කඳු පාමුල පිහිටි ලෝකයේ ලස්සනම ගමක් යැයි හැඟෙන ග්ලාරූස්වලය. මේ වකවානුව පොදුවේ මගේ ගම්වැසියන් සියලු දෙනාම ආනන්දයෙන් පුරවාලන සමයකි. මගේ පවුල හරහාත් ඒ ප්‍රීතිය ගලා යමින් ඇත.
දරුවන් දරුවන්ගේ ජීවිත වින්දනය කරන අතර දරුවන් වෙනුවෙන්ම කැපවුන ශ්‍රී ලාංකික මවකගේ භූමිකාවෙන් මදක් මිදී මගේ ජීවිත සතුට මගේ මිතුරියන් සමග විඳිය යුතුය යන අදහස මට දෙන්නේත් සංජලී සහ අනුක්ය. මිතුරියකගේ නිවසේ ආයාසයෙන් රැඳුන රැයක් හෝ දෙකක් හැරුණු විට මා නොමැතිව ජීවිත කාලයේ දස වසරක් රැයක් පහන් කර නැති සංජලී පවා මට ට්‍රිප් එකක් ගොස් එන්නට යෝජනා කළාය. එය මා පුරවා ලූ බව ඔබට කිව යුතුය. අම්මාගේ සතුට ගැන හිතන නොදරුවන් දෙදෙනෙකුගේ මවක වීම මොනතරම් අපූරු හැඟීමක් දැයි වචනයෙන් කියන්නට මට තේරෙන්නේ නැත. මගේ සිහින ගමනට මා පොළඹවන්නේ මගේ දරුවන්ගේ මේ ආදරණීය හැඟීමෙන් සැහැල්ලු වූ සිතිවිල්ලය. ශෂී හැමදාම මට යෝජනා කරන්නේ දරුවන් මත්තේ නැහෙන සම්ප්‍රදායික මවක් නොවී දරුවන්ට දරුවන්ගේ ජීවිතය දී මටත් ජීවිතය විඳින ලෙසය. එය සැමියෙකුගෙන් නොලැබෙන ආකාරයේ දියුණු ප්‍රවේශයකි.
අවසානයේ ඒ ගමන යෑමට තීරණය කළෙමි. ස්විස්ටර්ලන්තයේ ගත කරන මේ ජීවිතයේ දී මට හමුවු සමීපතම මිතුරියන් තිදෙනා සමග ගමන සැලසුම් කළෙමු. තීරණය අප සිවු දෙනාගේම පවුල්වල කිසිවෙක් සහභාගීකර නොගෙන අප සිවු දෙනා පමණක් මේ ගමන යෑමය. දිනකට අපි අපේ පවුල් නිවසේ තැබුවෙමු. දැන් අප යන්නේ ඇල්ප්ස් කඳු මුදුනේ මිහිර විඳින්නටය.
ඇත්තටම එය සිහින ගමනකි. ගමන ආරම්භ වුයේ බර්නිනා එක්ස්ප්‍රස් දූම්රියෙනි. බර්නිනා එක්ස්ප්‍රස් දූම්රීයේ හි ඇල්ප්ස් තරණය කිරීම නිසැකවම අපුරු අත්දැකිමකි. දුම්රිය ඇලප් කඳු විනිවිදන්නේය. මිනිසුන් විසින් කිළිටි නොකළ නොඉඳුල් ඇල්ප්ස් කඳු යාය අතරින් වැටී ඇති මේ ගමන ලෝකයේ චමත්කාරයේ පැතිකඩක් විවර කරනු සේය. ගමනේ දී සංචාරකයෙක් දකින්නේ යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කර ඇති පෞරාණික ඇල්පයින් භූ දර්ශනයන්ය.

ගමන් මග
මේ දුම්රිය ගමන යෙදී ඇත්තේ ස්විට්සර්ලන්තයේ විශාලතම නගරය වු ග්ලවුබුන්ඩන් සිට ඉතාලියේ ටිරානෝ නගර දක්වාය. යූරෝපයේ උසම දුම්රිය මාර්ගවල සහ ලෝකයේ බෑවුම් සහිතම දුම්රිය මාර්ගවල, බර්නිනා එක්ස්ප්‍රස් ගමන් කරයි. ගමනේ දී උමං මාර්ග 55 ක් සහ පාලම් 196 ක් පසුවේ. මෙම පාලම් ප්‍රධාන වශයෙන් 20 වන සියවසේ මුල් භාගයේ ඉදිකරන ලද ඉංජිනේරු තාක්ෂණයේ විශ්මයන්ය.
නැගෙනහිර ස්විට්සර්ලන්තයේ මධ්‍යකාලීන නගරයක් වන චූර් සිට ශාන්ත මොරිට්ස් හරහා උතුරු ඉතාලියේ ටිරානෝ දක්වා කිලෝමීටර් 122 ක් (සැතපුම් 76) බර්නිනා එක්ස්ප්‍රස් දූම්රිය ගමන් කරයි. මිනිසා විසින් කළ චමත්කාර ජනක නිර්මාණ දකිමින් සදාකාලික හිම භූමිය හරහා ඇදෙන දුම්රිය අවසානයේ නවතින්නේ ඉතාලියේ ටිරානෝ හි තල් තුරු සෙවනකය.

සංචාරකයින්ට ස්වභාවික අත් දැකීම් වඩාත් සමීපව විඳ දරාගැනීම වෙනුවෙන් මේ සුඛෝපභෝගී දුම්රිය මැදිරි වැඩි පරාසයක් නිර්මිත වන්නේ ඝන ශක්තිමත් වීදුරුවවලිනි. මැදිරියේ ආසනයන් හාන්සි පුටුවක් වැනිය. එහි සුවපහසු ලෙස හිඳගෙන අවට චමත්කාරය අත්විඳීම යනු වෙනම අත්දැකීමකි. එමෙන්ම විශේෂ අහාර සහ කෙටි කෑමවලින් මේ දුම්රිය මගීන්ට උසස් සංග්‍රහයක් ලැබෙන්නේය. මගේ සුව පහසු පුටුව අසල ඇති මේසය මතද ඇල්ප්ස් කඳුකරයේ සාරවත් පැලෑටිවලින් සාදන ලද තේ බහාලුම් පැකැට්ටුවක් ද කෝච්චියේ හැඩය සහිතව සාදන ලද ආකෘතිය ක දැමූ රසවත් ස්විස් චොකලට්ද විය.
ගිම්හාන ආලෝකය රිදී පැහැතිය. ඒ හිරු පොද හිම කඳු මත පතිත වී දිදුලමින් ඇත. බර්නිනා කඳු මුදුන පසුවේ. මෝර්ටෙරාට්ෂ් ග්ලැසියරය මේ ගමනේ දැකිය යුතුම දසුනකි. ලෙජ් පිට්ෂෙන්, ලෙජ් නායර් සහ ලාගෝ බියන්කෝ යන විල් තුන පසුබිමේ නැගෙන දැකුම් මනරම්ය. විටෙක අප ගමන් ගත් දුම්රිය ඇල්ප්ස් කඳු මුදුනේ සර්පිලාකාරව ගමන් කරන්නේය. ඉදිරියට එබී බලන විට, පටු මාර්ගය දිගේ අපව ඇදගෙන යන චෙරි රතු පැහැති දූම්රිය එන්ජිම පෙනේ.
ඇල්පයින් කඳු මත පිපෙන විචිත්‍ර වර්ණවත් මල් යාය පසුවෙයි. තැන තැන ඇති හුදකලා ජනාවාස පසුබිමේ . කැරමල් පාට ගවයන් තණකොළ කමින් සිටිති. දුම්රිය මග අසලින් ඇදෙන පටු මංවල කඳු නගින්නෝ වෙති. ඔවුහු අපට අත වනති.
ලෑන්ඩ්වාසර් වයඩක්ට් දුම්රිය පාලම මේ ගමනේ දී හමුවන විශ්මිත නිර්මාණයකි. ලෑන්ඩ්වාසර් වයඩක්ට් පාලම මීටර් 65 ක් උසය. අඩිවලින් නම් උස අඩි 213කි. මීටර් 136 ක් දිග දුම්රිය පාලමකි. වසරකට දුම්රිය 22,000 ක් පමණ ඒ දුම්රිය පාලම පසුකරන්නේය. දිනකට ලෑන්ඩ්වාසර් වයඩක්ට් පාලම තරණය කර යන දුම්රිය ගණන 60 කි. මෙම පාලම වියමාලා දුර්ගයේ කඳු බෑවුම කපා හුණු ගල් ආරුක්කු හයකින් දුම්රිය මග දරා සිටින ලෙස නිර්මාණය කර තිබේ. 2008 ජූලි 7 වන දින සිට මෙම වයඩක්ට් පාලම යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කෙරුණේය.

සොබා දහමට සමීප වී සොබා දහම වින්දනය කිරීම භාවනාවක් සේය. ඉන් උපදින මනෝ භාවය ගැඹුරු අධ්‍යාත්මික භාව ප්‍රකාශනයක් සේ දැනේ. දුම්රිය ගමන පැය තුනකට අධිකය. ඒ මුළු ගමන පුරාම දකින්නේ හිරු එළිය සිපගෙන විචිත්‍රවත්වන හිම භූමියක චමත්කාරය ය. මේ දැකුම ලංකාවේ ගෙවී ගිය ළමා කාලය තුළ විචිත්‍ර චිත්තරූප සමුදායක් මැවූ අත්තම්මාගේ සුරංගනා කතාවල පැනෙනා සුරංගනා ලෝකවල ආනන්දයට මා රැගෙන යයි. ඒ විචිත්‍ර ලෝකය මම දැන් සියැසින් දකිමින් හිඳිමි. එය කැමරාවක හෝ ජංගම දුරකථනයක සටහන් කරගත හැකි චමත්කාරයට ඔබ්බෙන් ඇති අපූර්වත්වයකි.
ඉතාලියේ ගමනාන්තය වෙනස්ම අත් දැකීමකි. රටවල් හතරක ජාතීන් හතරකට අයත් අප සිවු දෙනා මෙන්ම ඉතාලිය ද සංස්කෘතික සංකලනයකි. අවන්හලක ප්‍රදානය කරන ආහාර වේලක් තුළ ද ඒ සංස්කෘතික විචිත්‍රත්තවය තිබේ. පිට්සා කෑල්ලක් කමින්, ඉඟුරු දැමූ සිලෝන් ටී එකක් බොන ගමන් මා කල්පනා කරන්නේ ලෝකය මොනතරම් ලස්සන තැනක් විය හැකිව තිබුණේ ද යන්නය.
මේ මොහොතේ මා විශ්මය ජනක ගමනක ඇදහිය නොහැකි මතකයන් සමඟ සිටින බව සැබෑය. එහෙත් ඔබට යළිත් කිව යුත්තේ මේ ලෝකයේ සෑම බිම් අඟලකටම අනන්‍ය වූ මහා ලස්සනක් ඇති බවය. මේ ලෝකය අවලස්සන ගොරහැඩි තැනක් කරන්නේ මිනිස්සුන්ගේ හදවත්ය. සංස්කෘතියක් යනු විචිත්‍ර වර්ණයකි. සංස්කෘතික සංකලනයක් යනු ප්‍රභාෂ්වර වර්ණාවලියක ප්‍රකාශනයකි. ඉපිලෙන මනුෂ්‍යත්වය සහිත පසුබිමක මතුවන මේ සංස්කෘතික විශ්මය ස්විස්ටර්ලන්තය තුළ දී අවස්ථා ගණක අත් විඳ ඇත්තෙමි. එහි හොඳම අත්දැකීම මෙන්ම මරණීය ඛේදවාචකය ද මගේ මවු රට මට අත්දැකීම් වශයෙන් ලබා දුන්නේය.
ලෝකය ලස්සන වන්නට අවශ්‍ය වන්නේ ඒ විචිත්‍රතත්වය දකින්නට තරම් තියුණු ඇස් ඇති දියුණු මිනිසුන් බව මම දැන් දනිමි. ඒ මිනිසුන් මවන මනුෂ්‍යත්වයේ උනුහුම පිරි ලෝකය මොනතරම් චමත්කාර ජනක එකක් වනු ඇති ද? . බර්නිනා එක්ස්ප්‍රස් දුම්රිය ගමනේ දී නෙත් හමුවේ දුටු ඇදහිය නොහැකි චමත්කාරය එවැනි ලෝකයක මැවෙන සුන්දරත්වයට අලගු තබන්නට හැකි නොවනු ඇතැයි විශ්වාස කරමි.







