වාර්ෂිකව සමස්ත ලෝකයේ සාගර පද්ධතියට එක්වන ප්ලාස්ටික් හා පොලිතීන් ප්‍රමාණය ටොන් මිලියන 8.8 ක් වන තත්ත්වයක් තුළ ලෝක සාගර දිනය සැමරීමේ දිනය අදට (08) යෙදී තිබේ. මෙවර සාගර දිනයේ තේමාව වන්නේ ”වෙනස්වන පෘථිවි සාගරය” යන්නයි.
එක්ස්ප්‍රස් පර්ල් නෞකා විනාශය සමග මුහුදකට එකවර විශාලතම ප්ලාස්ටික් තොගය මුදාහැරි රට විදිහට ශ්‍රී ලංකාව ලෝක සාගර දිනය සුවිශේෂි අවස්ථාවක් කොට ගත යුතුව ඇත.
අවුරුදු දෙකකට කලින් සිදුවුණු මේ එක්ස්ප්‍රස් පර්ල් නෞකා විනාශය නිසා සාගරටය එකතු වූ ප්ලාස්ටික් පබලු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 1680 කි.
ශ්‍රී ලංකාවට හිමි සී ඔෆ් ශ්‍රී ලංකා හෙවත්, ශ්‍රී ලංකා මුහුදු කලාපය රට මෙන් අට ගුණයක් විශාල වන අතර ශ්‍රී ලංකා මුහුදු කලාපයට වාර්ෂිකව මුදාහැරෙන අපද්‍රව්‍ය ප්‍රමාණය ටොන් මිලියන 0.24ක් – 0.64ක් වන බව ගණන් බලා ඇත.
සමස්ත පෘථිවි ගෝලයෙන් ගොඩ බිමට හිමිවන්නේ 29%කි. අනෙක් 71% ජල ගෝලයට හිමි වේ. නමුත් එතරම් ජලයක් මේ පෘථිවි තලය මත තිබුණත්, මිනිස් පරිභෝජනයට ගත හැක්කේ 0.3% ක් තරම් අඩු ජල ධාරිතාවකි. ලෝකයේ පවතින ජල ප්‍රමාණයෙන් 97% ක්ම කරදිය ලෙස සාගරයේ ඇත.
පෘථිවියේ සිටින සතුන්ගෙන් 95% ක්ම ජීවත්වන්නේ සාගරය තුළ වන අතර ඔවුන් සාගරයේ හා භූමියේ පැවැත්මට ලබා දෙන්නේ මිල කළ නොහැකි දායකත්වයකි.
පෘථිවියේ විශාලතම ආහාර ගබඩාව හා ඉන්ධන ගබඩාව වන්නේද සාගරයයි. ජීවත්වීමට අවශ්‍ය ඔක්සිජන් ප්‍රතිශතයෙන් 50% – 85% ප්‍රමාණයක් සාගරයෙන් හිමිවන අතර කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතයෙන් 30% ක් අවශෝෂණය කර ගන්නේ ද සාගරයයි.
මේ නිසා රටක් ලෙස මෙන්ම ලොවක් ලෙස සාගර පරිසරය ආරක්ෂා කර ගැනීම සමස්ත මිනිස් සංහතියේම වගකීමක් බව කල්පනා කළ යුතුය.