රුසියානු එරොෆ්ලොට් ගුවන් යානයට ශ්‍රී ලංකාවෙන් පිටව යෑම වළක්වා තිබූ අධිකරණ නියෝගය කොළඹ වාණි මහාධිකරණය විසින් මීට ටික වෙලාවකට පෙර අත්හිටුවීමට තීරණය කළේය.
ඊට අදාලව නීතිපතිවරයා විසින් වාණිජ මහාධිකරණයේ කරුණු දක්වමින් අද සිදුකළ ඉල්ලීමකට අනුව කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු හර්ෂ සේතුංග මෙම නියෝගය ලබා දුන්නේය. යානය පිටවීමට එරෙහි වාරණ නියෝගය නිකුත් කළේද එම විනිසුරුවරයා විසිනි.
එයාර් බස් යානයක් කල්බදු පදනමින් එරොෆ්ලොට් සමාගමට ලබා දී තිබූ අයර්ලන්තයේ සමාගමක් කොළඹ වානිජ අධිකරණයෙන් ලබාගත් නියෝගයක් ප්‍රකාරව මෙම යානයට කටුනායකින් පිටව යෑමට වළක්වනු ලැබුවේ පසුගිය 2 දාය. 02 දා උදෑසන 10.10 ට රුසියාවේ මොස්කව් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ රුසියානු එරොෆ්ලොට් ගුවන් සේවයට අයත් එස්.යූ.- 288 දරන මෙම ගුවන් යානයට එරෙහි වාරණ නියෝගයත් සමග රුසියාව සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනුවල ද දෙදරීමක් ඇති විය.
රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ජනිතා ලියනගේ විදේශ කටයුතු අමාත්‍යාංශයට ගෙන්වා ශ්‍රී ලංකාවට එරෙහිව සිය අප්‍රසාදය පල කිරීමට රුසියානු බලධාරීහු කටයුතු කළහ. එරොෆ්ලොට් ගුවන් සේවාව සිය වාණිජ ගුවන් ගමන් අත්හිටවනු ලැබීය.