බස්නාහිර පළාතේ පොලිස් ස්ථානවල නිලධාරීන් වැඩි දෙනෙකු මේ වන විට කොළඹ ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය, ජනාධිපති කාර්යාලය ඇතුළු ප්‍රභූන් ගැවසෙන ස්ථානවල ආරක්ෂාවට යොදවා ඇති බැවින් පොලිස් ස්ථානවලට ලැබෙන මහජන පැමිණිලි නිසි ලෙස විභාග කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි පොලිස් තොරතුරු සඳහන් කළේය.
බස්නාහිර පළාතේ පොලිස් ස්ථානාධිපතිවරුන්ද කණ්ඩායම් කිහිපයකට වෙන්කර මෙම ස්ථානවල ආරක්ෂාවට යොමු කරන බවත් සතියකට දින කිහිපයක් එක දිගට පැය 12 බැගින් රාජකාරියේ යෙදවෙන බවත් පොලිස් නිලධාරීන් රැසක්ම අපට අනාවරණය කළහ.
මෙසේ සිවිල් ජනතාවගේ ආරක්ෂාවට යොදවා සිටින නිලධාරීන් ප්‍රභූ ආරක්ෂාවට යොදවා ගන්නේ විශාල නිලධාරීන් පිරිසකගෙන් සමන්විත ප්‍රභූ ආරක්ෂක අංශය කිහිපයක්ම මෙරට ක්‍රියාත්මකව තිබියදී බවද එම නිලධාරීන් චෝදනා කරති.
මේ තත්ත්වය මත සිවිල් ජනතාවගෙන් ලැබෙන පැමිණිලි සහ සිවිල් ජනතාවට පොලීසියෙන් ඉටුවිය යුතු සේවාවන් මඟ හැරීම නිසා ජනතාව පොලීසිය සම්බන්ධයෙන් දැඩි කලකිරීමකට ලක්වෙමින් ඇති බවත් තවදුරටත් මේ තත්ත්වය පැවතියහොත් පොලීසිය තුළ විශාල කඩාවැටීමක් සිදුවනු ඇති බවත් පොලිස් ස්ථානාධිපතිවරු රැසක්ම තමන්ට ඉහළ නිලධාරීන්ව දැනුවත්කර තිබේ.