මනම්පිටි නිමල් ජයරත්න –
ගෙවෙන්නේ බොහෝ සේ දුෂ්කර සමයකි. මිනිස්සු මේ දුර්ග අභියෝග සහිතව ගෙවති. ජීවිතය එහෙමය.
දිඹුලාගල මගුල්දමන ඇතුළු අවට ගම්මාන රැසක කාන්තාවන් බෝට්ටු ආධාරයෙන් හඳපාන්විල වැවේ ධීවර කටයුතු වල නිරත වෙමින් තම ජීවිතය සරිකර ගනිති.
හඳපාන්විල මිරිදිය ධීවර සමිතියේ සාමාජිකයින් 125ක් පමණ වෙති. අතර ඉන් හතළිහකට වැඩි පිරිසක් නියෝජනය කරන්නේ කාන්තාවන්ය. සමහරු මේ ධීවර රස්සාව කරන්නේ දශක කීපය සිටය.
කුඹුරු ඉඩම් හෝ වෙනත් ජීවන අවකාශයක් නැති මෙම කාන්තා ධීවර පිරිස උදෑසන රැකියාව සඳහා පිටත් වෙති. ඒ වන අලි ගහන හඳපානාවිල විල්ලුව මායිමෙයිනි. හඳපාන්විල විල්ලුව සහිත විශාල ජලාශය ඔවුන්ගේ ගොදුරු බිමය. ධීවර කර්මාන්තය කරන්නේ කුඩා හබල් ඔරු ආධාරයෙනි.
බොහෝ දෙනෙක් දවසේ අල්ලා ගන්නා මාළුන්ගෙන් වැඩි ප්රමාණයක් වේලා දුම් කරවල ලෙස සකස් කරති. දුම් කරවල කිලෝවක් රුපියල් 2000 ත් 2500 අතර මිලකට අලෙවි කරගත හැකිය. අයෙක් පිටතින් එන වෙළෙන්දන්ට සිය මාළු අස්වැන්න අලෙවි කරති.
වන අලි සැරිසරන මහ වන මැද විල්ලුවේ දිවා රෑ නොබලා පිරිමි ධීවරයින් සමඟ කරට කර ජීවන හටනේ යෙදෙන හඳපාන්විල මිරිදිය ධීවර කාන්තාවන් අරත සිංහල, දමිළ, ආදිවාසී සියලු දෙනා වෙති.
හඳපාන්විල විලේ වසර විසි තුනක කාලයක සිට ධීවර කටයුතු වල නිරතව සිටින 50 වියති තිදරු මවකවන කේ. අයිරාංගනී තම රැකියාව පිළිබඳ මෙලෙස විස්තර කළාය.
“අපිට කුඹුරු ඉඩම් නෑ. අපේ රස්සාව මේක තමයි, දරුවෝ තුන් දෙනාම ලොකුමහත් කළේ ධීවර රස්සාව කරලා. දැන් ඒ දරුවොත් විවාහ වෙලා මේ රස්සාව තමයි කරන්නේ.“
“හඳපාන්විල ධීවර සමිතියේ සාමාජිකයෝ 125 ක් විතර ඉන්නවා. ඒකෙන් හතළිහක් පමණ කාන්තාවෝ. ඒ අය සිංහල, දමිළ, ආදිවාසී, මුස්ලිම්, හැම කෙනාම නියෝජනය කරනවා. අපි සමගියෙන් මේ රස්සාව කරගෙන යනවා. “
“මේ ධීවර ගම්මානයට අඩුපාඩු ගොඩයි. බෝට්ටු දැල් ආම්පන්න හිඟයි. පොළොන්නරුවේ දුප්පත්ම ධීවර ගම්මානය මේක. ඉතින් අපිට පුළුවන් විදිහට රජයෙන් පහසුකම් දුන්නොත් මේ රස්සාව දියුණු කරගන්න පුළුවන්. කේ. අයිරාංගනී සඳහන් කළාය.