ඉඳුනිල් කහටපිටිය –
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ නෝර්ත් සවුන්ඩ්හි ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවට පත්වන විට, ආරම්භක පිතිකරු ළහිරු උදාර දියත් කළ විශිෂ්ට සහ සටන්කාමී ඉනිම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා ප්‍රබල සහ ස්ථාවර මට්ටමකට පැමිණ සිටින්නේය.
සිය මංගල ටෙස්ට් ද්විත්ව ශතකය ලබා ගැනීමට ලකුණු 12ක් මෙපිටින් පිටින් සිටියදී, ඔහු අවාසනාවන්ත ලෙස දැවී ගියද, පළමු දිනය සඳහා තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 338ක් වැනි දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් පුවරුවට එකතු කර තිබුණි. දිනයේ අවසාන පැය භාගය ඇතුළත බටහිර ඉන්දීය කොදෙව් පන්දු යවන්නන් ලබාගත් කඩුලු දෙක හේතුවෙන් ඔවුන් යම් ප්‍රමාණයකට තරගයට අවතීර්ණ වුවද, ඊට පෙර මුළු දවස පුරාම ආධිපත්‍යය පැතිරවූයේ ශ්‍රී ලංකා පිතිකරුවන්ය.
අබාධයට ලක් වූ ලහිරු කුමාර වෙනුවට සිය මංගල ටෙස්ට් තරගයට තරග කිරීමට ඉසිත විජේසුන්දර කැඳවා තිබිණි. ඉසිත ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධි ධාරියෙකි. යළිත් ප්‍රභාත් ජයසූරියත් ක්‍රීඩා කරන 11 දෙනා වෙත කැඳවීම විශේෂ තීරණයක් විය.

අභියෝගාත්මක තීරණය සහ මුල් පෙළ බිඳ වැටීම
තණකොළ සහිත සහ කොළ පැහැති ස්වභාවයක් ගත්, පන්දු යවන්නන්ට වැඩි වාසි ගෙන දෙන තණතීරුවක් මත කාසියේ වාසිය දිනා ගැනීමෙන් අනතුරුව ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා නායකයා ගත් තීරණය බොහෝ දෙනෙකුගේ පුදුමයට හේතු විය. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ රොස්ටන් චේස් පවා ප්‍රකාශ කළේ තමන්ට මුලින්ම පන්දු යැවීමට ලැබීම පිළිබඳව සතුටු වන බවය. එම අපේක්ෂාවන් සනාථ කරමින් තරගයේ පළමු පැය ඇතුළත ශ්‍රී ලංකා මුල් පෙළට දැඩි පීඩනයක් එල්ල කිරීමට කොදෙව් වේග පන්දු යවන ක්‍රීඩක ශමාර් ජෝසෆ් සමත් විය.
ඔහුගේ පන්දු හමුවේ නිෂාන් මධුෂ්ක ලකුණු ලබා ගැනීමට පෙර ‘පොයින්ට්’ කලාපයේ සිටි පන්දු රකින්නා අතටම පහරක් එල්ල කරමින් දැවී ගිය අතර, දිනේෂ් චන්දිමාල් ද ‘ස්ක්වෙයාර් ලෙග්’ කලාපයේ සිටි පන්දු රකින්නා අතටම පන්දුව ලබා දෙමින් දැවී ගියේය. චන්දිමාල් ලබා ගත්තේ එක් ලකුණක් පමණි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 25ක් වන විට මුල් කඩුලු 2ම අහිමි කරගනිමින් දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත් විය.
ළහිරු උදාර සහ කමිඳු මෙන්ඩිස්ගේ වාර්තාගත සබඳතාව
එලෙස කඩුලු 2ක් දැවී අසීරු අඩියකට වැටී තිබූ ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගීමේ සහ මුදාගැනීමේ වගකීම උරට ගත් ළහිරු උදාර සහ කමිඳු මෙන්ඩිස් තෙවන කඩුල්ල වෙනුවෙන් අලංකාර සහ වාර්තාගත සබඳතාවක් ගොඩනැගූහ. ඔවුන් දෙදෙනා එක්ව පන්දු 255ක් වැනි කෙටි පන්දු සංඛ්‍යාවකින් ලකුණු 215ක වේගවත් සබඳතාවක් පැවැත්වීය. මෙය බටහිර ඉන්දීය කොදෙව් දේශයේදී ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් ශ්‍රී ලංකා පිතිකරුවන් යුගලයක් වාර්තා කළ ඉහළම ලකුණු සබඳතාවය ලෙස ඉතිහාසයට එක්විය. එමෙන්ම එය කොදෙව්වන්ට එරෙහිව ටෙස්ට් ඉතිහාසයේ ශ්‍රී ලංකාව ලැබූ ඉහළම සබඳතාවය වීමටද ඉතා ආසන්න විය.
වයස අවුරුදු 32ක් වන ළහිරු උදාර ජාතික කණ්ඩායමට පැමිණීම සඳහා දීර්ඝ කාලයක් බලා සිටි ක්‍රීඩකයෙකි. පසුගිය ජූනි මාසයේදී ඔහු මංගල ටෙස්ට් වරම් ලැබූවද ශ්‍රී ලංකාවේ ටෙස්ට් තරග කාලසටහන සීමිත වීම නිසා ඔහුට අවස්ථා අහිමි විය. මෙම සංචාරයේදීද පැතුම් නිශ්ශංකට සිදුවූ ආබාධයක් හේතුවෙන් ඔහුට කණ්ඩායමට දොරටු විවෘත වූ අතර, පළමු තරගයේදී අමීර් ජැන්ගු මෙන්ම උදාරද තමන්ට ලැබුණු අවස්ථාව දෝතින්ම පිළිගත්තේය.. කමිඳු මෙන්ඩිස් ද වේගවත් ඉනිමක් දියත් කරමින් පන්දු 120කින් ලකුණු 84ක් රැස් කර සිටියදී, කොදෙව් නායක ශයි හෝප්ගේ වේගවත් විශිෂ්ඨ සහ පුදුම සහගත ස්ටම්ප් කිරීමක් හමුවේ දැවී ගියේය. කමිඳු ක්‍රීඩාගාරය වෙත යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 240ක් ලෙස සටහන්ව තිබුණි.

ධනංජයගේ ඉවසීම සහ සීල්ස්ගේ කඩුලු 100 සේ සැමරුම
කමිඳුගේ දැවී යාමෙන් පසු පිටියට පිවිසි නායක ධනංජය ද සිල්වා, උදාර සමඟ එක්ව සිව්වන කඩුල්ල වෙනුවෙන් පන්දු 179කින් ලකුණු 93ක වැදගත් සබඳතාවක් ගොඩනැගීය. මෙම සබඳතාවය පෙර සබඳතාවය තරම් වේගවත් නොවූවද, අවසන් කාර්තුවේ නව පන්දුව සමඟ කොදෙව්වන් එල්ල කළ දැඩි පන්දු යැවීමේ පාලනයට සාර්ථකව මුහුණ දීමට මෙම ඉනිම ඉවහල් විය.
කෙසේ වෙතත්, කොදෙව්වන්ගේ නොපසුබට උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස දිනයේ අවසන් භාගයේදී ශ්‍රී ලංකා ඉනිම මඳක් පසුබා ගියේය. කොන්දේ පහළ ප්‍රදේශයේ ආබාධයක් හේතුවෙන් පිටිය තුළදීම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගනිමින් පන්දුවට පහරදුන් ළහිරු උදාර, වෙහෙසට පත්ව සිටි බැවින් එල්ල කළ ‘ටොප් එජ්’ (Top-edge) පහරක් ‘දීප් ෆයින් ලෙග්’ කලාපයේදී උඩපන්දුවක් ලෙස රැක ගැනීමෙන් ඔහු ලකුණු 188කට දැවී ගියේය. පන්දු 248කට මුහුණ දුන් ඔහුගේ ඉනිමට හතරේ පහර 21ක් සහ හයේ පහර 4ක් ඇතුළත් විය.
ඉන් අනතුරුව පන්දු 90කින් ලකුණු 33ක් ලබා සිටි ධනංජය ද සිල්වා ද ‘ස්ලිප්’ කලාපයේ සිටි පන්දු රකින්නන් අතට උඩපන්දුවක් ලබා දෙමින් ජේඩන් සීල්ස්ගේ පන්දුවක් හමුවේ දැවී ගියේය. මෙම කඩුල්ල බටහිර ඉන්දීය කොදෙව් පිලට සුවිශේෂී වූයේ ජේඩන් සීල්ස් මෙහිදී සිය 100 වන ටෙස්ට් කඩුල්ල සනිටුහන් කළ බැවිනි. ඔහු ටෙස්ට් ඉතිහාසයේ යැවූ පන්දු සංඛ්‍යාව අනුව (Deliveries bowled) 100 වන කඩුල්ල ලබාගත් දෙවන වේගවත්ම කොදෙව් පන්දු යවන්නා බවට පත්වූ අතර එම ලැයිස්තුවේ පෙරමුණේ පසුවන්නේ ඉයන් බිෂොප්ය. කොදෙව්වන් අවසාන භාගයේදී ලැබූ මෙම කඩුලු 2 නිසා යම් අස්වැසිල්ලක් ලබා ගත්තේය.
උදාරගේ පිතිකරණ විලාසය සහ කොදෙව් පන්දු යැවීමේ දුර්වලතා
කොළ පැහැති තණතීරුවේ මුල් භාගයේ තිබූ පන්දුවේ දෝලනය (Movement) තමන්ගේ සංයුක්ත තාක්ෂණය සහ ඉවසීම උපයෝගී කරගනිමින් පාලනය කර ගැනීමට ළහිරු උදාර සමත් විය. ඔහු දුර්වල පන්දුවලට දැඩි ලෙස දඬුවම් කළේය. මුල් භාගයේදී ඕෆ් ස්ටම්ප් එකෙන් පිටත ඇදුණු පන්දුවලට අවදානම් සහගත පහරවල් කිහිපයක් එල්ල වුවද, පසුව ඔහු ඉතා දක්ෂ ලෙස ඉනිම පාලනය කළේය. ඔහු සිය මංගල ශතකය සනිටුහන් කළේද ‘ෆයින් ලෙග්’ කලාපයට ඉහළින් එල්ල කළ ‘ටොප් එජ්’ හයේ පහරක් මගිනි. ඔහු සිය ශතකය ලබා ගන්නා විට පන්දුව පාලනය කිරීමේ ප්‍රතිශතය (Control percentage) 90%ක් තරම් ඉහළ මට්ටමක පැවතුණි. ඇල්සාරි ජෝසෆ්ගේ පන්දුවකට ‘බැක්වර්ඩ් ස්ක්වෙයාර් ලෙග්’ කලාපයට ඉහළින් එල්ල කළ හයේ පහර ඔහුගේ ඉනිමේ විශිෂ්ටතම පහරක් විය.
කොදෙව් පන්දු යවන්නන් හට නිසි එල්ලයකට සහ නිසි ස්ථානයට (Lines and lengths) පන්දු යවමින් පීඩනයක් ගොඩනැගීමට නොහැකි වූ අතර, ආබාධයක් හේතුවෙන් මෙම තරගය අහිමි වූ කෙමාර් රෝච්ගේ අඩුව ඔවුන්ට තදින්ම දැනුණි. රෝච් වෙනුවට කණ්ඩායමට කැඳවූ ඇන්ඩර්සන් පිලිප් තමන්ගේ සැලසුම් ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වූ අතර, ඔහු යැවූ පන්දුවාර 10 තුළ ලකුණු 52ක් ලබා දෙමින් කොදෙව් පිලේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබා දුන් පන්දු යවන්නා බවට පත් විය. දිවා ආහාරය අවට පැවති පන්දුවාර 10ක කාලය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාරයකට ලකුණු 7.5ක වේගයකින් ලකුණු රැස් කළ අතර, සමස්ත ලකුණු වේගයද 5කට ආසන්න මට්ටමක පවත්වා ගැනීමට ඔවුහු සමත් වූහ.
කොදෙව්වන් අතින් ගිලිහුණු අවස්ථා
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ පන්දු රැකීමේ දුර්වලතා හේතුවෙන් ශ්‍රී ලංකා පිතිකරුවන්ට අවස්ථා කිහිපයක්ම හිමි විය. පළමු අවස්ථාව උදාවූයේ දිවා ආහාරයට පෙර අවසන් පන්දුවාරයේදීය. ජේඩන් සීල්ස් යැවූ පන්දුවක් ළහිරු උදාරගේ පිත්තේ වැදී (Udara fended it off the shoulder of his blade) පළමු හෝ දෙවන ස්ලිප් කලාපයට ඇදී ගියද, එහි සිටි ජෝන් කැම්බල් සහ ජස්ටින් ග්‍රීව්ස් යන දෙදෙනාම පන්දුව රැක ගැනීමට ඉදිරිපත් නොවීම නිසා එය හතරේ පහරක් ලෙස ඇදී ගියේය. එම අවස්ථාවේදී උදාර ලබා සිටියේ ලකුණු 55ක් පමණි.
දෙවන අවස්ථාව උදාවූයේ දිවා ආහාරයෙන් පසුවය. කමිඳු මෙන්ඩිස් ලකුණු 41ක් ලබා සිටියදී එල්ල කළ පහරක් ‘අල්ට්රා එජ්’ (Ultra Edge) තාක්ෂණය ඔස්සේ පරීක්ෂා කිරීමේදී පිත්තේ වැදී ඇති බව පෙනී ගියද, පිටිය තුළ කිසිදු අභියාචනයක් (Appeal) ඉදිරිපත් කිරීමට කොදෙව් ක්‍රීඩකයෝ අපොහොසත් වූහ.

කෙසේ වෙතත්, කමිඳු මෙන්ඩිස් පියවර කිහිපයක් ඉදිරියට පැමිණ පහර දීමට උත්සාහ කරන බව වටහාගත් කොදෙව් කණ්ඩායම, කඩුලු රකින ක්‍රීඩක ශයි හෝප් කඩුල්ලට ආසන්නයට පැමිණියේය. . එහිදී ජස්ටින් ග්‍රීව්ස් පා දෙසට (Down leg) යැවූ පන්දුවකට පහරදීමට යාමේදී කමිඳුගේ සමබරතාවය ගිලිහී ගිය අතර, ඉතා සුළු මොහොතකට ඔහුගේ පසුපස පාදය සීමාවෙන් පිටතට එසවුණු සැනින් ශයි හෝප් විසින් අතිශය වේගවත් ලෙස කඩුල්ල බිඳ දැමීම (Stumping) සිදු කරන ලදී. මෑත ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ සිදුවූ අසිරිමත්ම ස්ටම්ප් කිරීම මෙය බව නිසැකය.
තරගයේ පළමු දිනය අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රබල මට්ටමක පසුවුවද, අවසන් භාගයේදී ලබාගත් කඩුලු හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමද පසුදින තරගය සඳහා යම් බලාපොරොත්තුවක් රඳවා ගැනීමට සමත් වී ඇත.







