උපේක්ෂා උඩුවැරැල්ල-
දිනය පසුගිය බදාදාය. තායිලන්තයේ ප්‍රකට විනෝදකාමී පතායා නගරයේ තවත් වර්ණවත් රාත්‍රියක් ගෙවෙමින් තිබිණි. . තල් ගස් පේළිවලින් වට වූ ඒ සුන්දර වැලි තලාව මතට වී 17 හැවිරිදි තායි දැරියක තම මිතුරියක සමඟ සතුටු සාමීචියේ යෙදී සිටියාය.
ළමා විය පසුකර සොඳුරු යෞවනයට ප්‍රවේශ වී තවමත් නැවුම් මල් කැකුළක් බඳු මේ දැරිය අසලට පැමිණෙන්නේ හැඩි දැඩි පෙනුමක් සහිත විදේශිකයෙකි. කළු අත් කොට බැනියමකින් සහ කොට කලිසමකින් සැරසී සිටින මැදිවිය පසුකරන පෙනුමක් සහිත මේ හැඩිදැඩි විදේශිකයා සමග දැරිය සාමීචියේ යෙදෙමින් සිටියේය. කෙටි පිළිසඳරකින් පසු ඇය සිය මිතුරියගෙන් සමුගෙන මේ හැඩි දැඩි විදේශික පිරිමියාගේ වෙත ගියාය. ඔහු ඇයගේ අත රැගෙන ඇවිද යනු පෙනුණි.
දින දෙකකට පසු, එම වෙරළ තීරයට නුදුරු දුම්රිය මාර්ගයක් අසල ඉණක් පමණ උසට වැවී තිබූ පාළු තණකොළ ගොල්ලක් අතරින් හමු වූ සංචාරක ගමන් මල්ලක් (Suitcase) මුළු මහත් තායිලන්තයම කම්පනයට පත් කළේය. ඒ, ගමන් මල්ල තුළින් හමුවන්නේ පසුගිය බදාදා විදේශිකයාගේ ඝාතනය වූ මේ නව යොවුන් දැරියගේ නිරුවත් දේහය ය.

බිරිඳ නැති ලෝකයක පියෙකුගේ එකම බලාපොරොත්තුව
මෙම මිලේච්ඡ ඝාතනයෙන් වඩාත්ම සුනුවිසුනු වී ඇත්තේ ඇගේ පියා වන 46 හැවිරිදි තොංචයි දොන්හොම්ලාගේ ජීවිතය ය. එකම දියණියගේ අහිමිවීම ඔහුට දරාගත නොහැකි එකක් වී තිබේ. ඇය මවක ද නොමැති දැරියකි. ඇය ගමේ සිය පියා සහ සුළුමව සමග ගතකරමින් සිටි ජීවිතයෙන් මිදී පතායා වෙත පැමිණ ඇත්තේ සිද්ධිය වීමට දින කිහිපයකට පෙරය. ඇය පැමිණ රැඳී සිට ඇත්තේ ඇයගේ යෙහෙළියකගේ නිවසේය.
පතායා යනු එහි විචිත්‍රවත්, වර්ණවත් රාත්‍රී ජීවිතය යට සැඟවූ කුප්‍රකට නීතිවිරෝධී ලිංගික සංචාරක කර්මාන්තයේ (Illicit sex tourism) කේන්ද්‍රස්ථානයකි. තායිලන්තයේ දුප්පත් ගම් පළාත්වල තරුණ තරුණියෝ දැඩි ආර්ථික අපහසුතා හේතුවෙන් මෙවැනි සංචාරක නගරවල විවිධ රැකියා සොයා පැමිණෙති. එය සාමාන්‍ය තත්ත්වයකි. එහිදී ඔවුන් විවිධ ජාවාරම්කරුවන්ට හෝ අපරාධකරුවන්ට ගොදුරු වීමේ ප්‍රවණතාව ඉහළය.
මෙවැනි සංචාරක කලාප තුළ, විශේෂයෙන්ම බාලවයස්කාර දරුවන් ලිංගික සූරාකෑමට (Sexual exploitation) සහ අපයෝජනයට ලක්වීමේ අවකාශය ගැන ජාත්‍යන්තර නීති බලාත්මක කිරීමේ ආයතන සහ විවිධ පුණ්‍යායතන දිගු කලක සිට පෙන්වා දී තිබිණි. මේ ඒ නින්දාසහගත අපරාධය දාමය හෙළිදරවු වූ අවස්ථාවකි.
“මට මේ දුක කොහොම දරාගන්නද කියලා හිතාගන්න බෑ. මගේ දුවට අම්මෙක් හිටියේ නැහැ. ඒ නිසා එයාට මොනවා හරි අඩුපාඩුවක් වුණාම කාටවත් කරදර නොකර එයාම තමයි ඒක හොයාගන්න ක්‍රමයක් බැලුවේ. ඒ වගේම එයා හැමවෙලේම මටත් උදව් කළා. මගේ ලෝකයම වුණේ එයා,” යැයි පියා පවසන්නේ වචන කරගත නොහැකි ශෝකාකූල හැඟීමකිනි.
ඇගේ කුඩම්මා වන ඔරඩි බුස්සරකම් පවසන්නේ මාධ්‍ය මඟින් සූට්කේස් එකක් හමුවූ පුවත දුටු සැනින් තම පවුලේ සැමට නරකම දේ සිදුවී ඇතැයි සිතුණු බවය. “ආරංචිය ඇසූ වෙලාවේ ඉඳන් හඬලාම අපේ ඇස් ඉදිමිලා. මම පොලිසියට කිව්වා ඔහුට මරණ දණ්ඩනයම ලබා දෙන්න කියලා. මම කුඩම්මා කෙනෙක් වුණත් මට දැනෙන මේ වේදනාව කියන්න වචන නැහැ. ඔහු කළ අපරාධයට උපරිම විපාක විඳිය යුතුමයි,” යැයි ඇය දැඩි ක්‍රෝධයෙන් හා කඳුළින් යුතුව පවසන්නීය.
සීසීටීවී (CCTV) දර්ශන ඔස්සේ දිග හැරුණු බිහිසුණු හෝරාවන්
පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වූ සීසීටීවී දර්ශන පෙළක් මඟින් බ්‍රහස්පතින්දා අලුයම සිදු වූ ඒ බිහිසුණු සිදුවීම පෙළගස්වා ගැනීමට හැකි වී තිබේ. අලුයම 3:35 ට පමණ සටහන් වූ දර්ශනවල දැක්වෙන්නේ ජීන්ස් කලිසමකින් සැරසුණු දැරිය සහ කොට කලිසමකින් සැරසුණු උස විදේශිකයෙකු අත් අල්ලාගෙන සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක (Condominium) සෝපානයක් වෙත ගමන් කරන අයුරුය. මෙම පුද්ගලයා 40 හැවිරිදි ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු වන සයිමන් පීටර් කාමන් (Simon Peter Carman) ලෙස හඳුනාගෙන තිබේ.

පොලිසිය පවසන පරිදි, ඔවුන් දෙදෙනා කාමරය තුළ සිටියදී ඇති වූ බහින්බස්වීමක් දුරදිග ගොස් තිබේ. එහිදී සැකකරු විසින් දැරියගේ ගෙල සිරකර මරා දමා ඇති අතර, පසුව ඇගේ සිරුර කළු පැහැති විශාල සූට්කේස් එකක බහා සඟවා ඇත. තවත් සීසීටීවී දර්ශනයක දැක්වෙන්නේ පැය කිහිපයකට පසු සැකකරු එම බරැති සූට්කේස් එක තනිවම ඇදගෙන නිවාස සංකීර්ණයෙන් පිටතට පැමිණෙන අයුරුය. අනතුරුව ඔහු එය යතුරුපැදියක පටවාගෙන ගොස් දුම්රිය මාර්ගය අසල පාළු ස්ථානයකට විසි කර දමා තිබේ.
ගුවන් තොටුපළේදී කොටු කරගත් උපාය සහ අර්ධ පාපොච්චාරණය
දැරිය නිවසට නොපැමිණීම හේතුවෙන් ඇගේ මිතුරියක විසින් සිකුරාදා සවස 5:00 ට පමණ පතායා පොලිස් ස්ථානයට කරන ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ විය. මුලදී සාක්ෂි ඉතා අල්ප වූ අතර, විදේශිකයෙකු ඇයව නිවාස සංකීර්ණයකට කැඳවාගෙන ගිය බව පමණක් අනාවරණය විය. පොලිසිය එම කාමරය පරීක්ෂා කිරීමේදී සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රය (Passport) හමු වුවද, සැකකරු හෝ දැරිය එහි සිටියේ නැත.
කෙසේ වෙතත්, වහා ක්‍රියාත්මක වූ තායිලන්ත ආගමන විගමන බලධාරීන් සහ පොලිසිය, සෙනසුරාදා අලුයම බැංකොක් නුවර සුවර්ණභූමි ගුවන් තොටුපළේදී ඔස්ට්‍රේලියාව බලා යන ගුවන් යානයකට නැගීමට සූදානම් වූ සයිමන් පීටර් කාමන්ව කොටු කර ගැනීමට සමත් විය. තමන්ගේ විදේශ ගමන් බලපත්‍රය පවා නොමැතිව සැකකරු රටින් පලායාමට උත්සාහ කළේ කෙසේද යන්න තවමත් අභිරහසකි.
ගලවා ගැනීමේ සේවකයන් විසින් දුම්රිය මාර්ගය අසල තිබී දැරියගේ සිරුර අඩංගු සූට්කේස් එක සොයාගෙන තිබුණි. දැනට පොලිස් භාරයේ පසුවන සැකකරු, තමන් ඇයව ඝාතනය කළ බවට අර්ධ පාපොච්චාරණයක් සිදු කර ඇත. පතායා නගරයේ පොලිස් අධිකාරී අනේක් ස්‍රාතොන්ග්යූ (Anek Srathongyoo) වෙත ඔහු පවසා ඇත්තේ, මෙවැන්නකි.
“ඇයව මැරීමේ චේතනාවක් මට තිබුණේ නැහැ. නමුත් අප අතර ඇති වූ රණ්ඩුවේදී මට ඇගේ ගෙල මිරිකුණා,” යනුවෙනි. පතායා පළාත් අධිකරණය වෙත මාරු කර යැවීමට පෙර පොලිස් විමර්ශන කාමරයේ සිටි සැකකරු වින්දිත දැරියගේ පවුලේ අයට පණිවිඩයක් දෙමින් මෙසේ කියා සිටියේය.
“ඔබේ දියණියට සිදුවූ දේ ගැන මට ඇත්තටම කණගාටුයි. එය මගේ පාලනයෙන් බැහැරව සිදුවූවක්,” යනුවෙනි.
නීතියේ ඉදිරිය සහ ජාත්‍යන්තර අවධානය
ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු සහ වෙළඳ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත්තේ අත්අඩංගුවට පත් තම පුරවැසියා වෙනුවෙන් කොන්සියුලර් සහාය ලබා දෙන බවය. එහෙත් තායිලන්ත නීතියට අනුව සැකකරුට එරෙහිව චේතනාන්විත මිනීමැරුම, සිරුරක් සැඟවීම, විනාශ කිරීම සහ බාලවයස්කාරියක ලිංගික අපයෝජන චේතනාවෙන් පැහැරගෙන යාම යන බරපතළ චෝදනා එල්ල වී ඇත. වරදකරු වුවහොත් ඔහුට වසර 15-20 ක සිරදඬුවමක්, ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් හෝ මරණ දණ්ඩනය හිමිවනු ඇත.
මෙම අවාසනාවන්ත සිදුවීමත් සමඟ, පතායා වැනි විදේශිකයන් බහුල වෙරළබඩ කලාපවල සිදුවන ළමා ලිංගික ශ්‍රම සූරාකෑමේ සහ මිනිස් ජාවාරම්වල බිහිසුණු යථාර්ථය පිළිබඳව ජාත්‍යන්තර සංවිධානවල අවධානය නැවත වරක් දැඩිව යොමුව තිබේ. නීතිමය ක්‍රියාදාමයන් කෙසේ වෙතත්, එක් නිමේෂයකින් තම එකම බලාපොරොත්තුව අහිමි වූ අසරණ පියෙකුගේ හදවතේ නැගෙන කණගාටුදායක සුසුම් රාවය, යුක්තිය ඉටු වුවද කිසිදිනෙක නිම නොවනු ඇත.








