හම්බන්තොට දිස්ත්‍රික් තරුණ සමගි ජන බලවේගයේ මාධ්‍ය ලේකම්වරයා පුද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.
වීරකැටිය, කිංචිගුණේ ප්‍රදේශයේ දී ඊයේ (27) රාත්‍රියේ මෙම ඝාතනය සිදුව ඇති බව පොලීසිය පවසයි.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ සමගි ජන බලවේගයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික් තරුණ සමගි ජන බලවේගයේ මාධ්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කළ හකුරුවෙල ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි තරුණයෙකි.
ඊයේ රාත්‍රියේ පැවති මත්පැන් සාදයක් අතරතුර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම පුද්ගලයාට තියුණු ආයුධයකින් පහර දී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. ආරවුල බේරීමට උත්සාහ කළ සැකකරුගේ මව ද මෙහිදී තුවාල ලබා වීරකැටිය රෝහලට ඇතුළත් කර තිබේ.
ඝාතනයට සම්බන්ධ 29 හැවිරිදි සැකකරු වීරකැටිය පොලීසිය විසින් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මැදමුලන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මියගිය තරුණයාගේ මෘත ශරීරය වීරකැටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, වීරකැටිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.







