උපේක්ෂා උඩුවැරැල්ල –
එක්සත් රාජධානිය තුළ ලිංගික අතවර සහ දූෂණ චෝදනා රැසකට ලක්ව සිටින ඝානා ජාතික සුපිරි පාපන්දු ක්‍රීඩක තෝමස් පාටේ ට (Thomas Partey) කැනඩාවට ඇතුළු වීම සඳහා වීසා බලපත්‍ර ලබා දීම එර රට රජය විසින් ප්‍රතික්ෂේප කර තිබේ. මේ හේතුවෙන් ලබන බදාදා (ජුනි 17) ටොරොන්ටෝ නුවරදී පැනමා කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ඝානා කණ්ඩායමේ සමාරම්භක තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඔහුට අහිමි වී ඇත.

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් මේ බව තහවුරු කර තිබේ. දැනට ඇමරිකා එක්සත් ජනපදයේ බොස්ටන් නුවර පිහිටි ඝානා සංචිතයේ පුහුණු කඳවුරේ රැඳී සිටින පාටේ ට, කැනඩා රජය විසින් වීසා ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එරටට ගමන් කිරීමට නොහැකි වන බව FIFA ආයතනය පවසයි.
කෙසේ වෙතත්, සත්කාරක රටවල ආගමන විගමන නීති හෝ වීසා ලබා දීමේ ක්‍රියාවලීන් සඳහා තමන් මැදිහත් නොවන බව ද ලෝක පාපන්දු පාලක මණ්ඩලය අවධාරණය කර ඇත. 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය කැනඩාව, මෙක්සිකෝව සහ ඇමරිකා එක්සත් ජනපදය යන රටවල් ත්‍රිත්වයේ සත්කාරකත්වයෙන් ඒකාබද්ධව පැවැත්වෙයි.
දැනට ස්පාඤ්ඤයේ විලර්රියල් (Villarreal) ක්‍රීඩා සමාජය නියෝජනය කරන 32 හැවිරිදි මෙම දක්ෂ මැදපෙළ ක්‍රීඩකයාට එරෙහිව ලන්ඩන් මෙට්‍රොපොලිටන් පොලිසිය විසින් 2025 ජූලි මාසයේදී දූෂණ චෝදනා පහක් සහ ලිංගික අතවර කිරීමේ චෝදනාවක් එල්ල කරන ලදී. ඔහු ප්‍රකට ආර්සනල් කණ්ඩායමට ක්‍රීඩා කළ සමයේ සිදු වූ බව කියන මෙම සිදුවීම් සම්බන්ධයෙන් තමන් නිවැරදිකරු බව ඔහු ප්‍රකාශ කර තිබුණි. එහෙත්, පසුව 2026 පෙබරවාරි මාසයේදී ද ඔහුට එරෙහිව තවත් නව දූෂණ චෝදනා දෙකක් එල්ල වූ අතර, පසුගිය අප්‍රේල් මාසයේදී ද ඔහු ඒවා ප්‍රතික්ෂේප කරමින් නිවැරදිකරු බව ප්‍රකාශ කළේය.
ඇමරිකාවට ඇතුළුවීමට ගැටලුවක් වී නෑ…
ජුනි 4 වැනිදා ඝානා සංචිතය සමඟ ඇමරිකාවේ වොෂින්ටන් නුවරට පැමිණි පාටේට ඇමරිකාවට ඇතුළු වීමේදී කිසිදු ගැටලුවකට මුහුණ දීමට සිදු නොවූවත්, කැනඩාව සිය ජාතික ආරක්ෂක ප්‍රතිපත්තිය දැඩිව ක්‍රියාත්මක කර ඇත. මේ පිළිබඳව අදහස් දක්වා ඇති කැනඩා ආගමන, සරණාගත සහ පුරවැසිභාවය පිළිබඳ ආයතනය (IRCC) සඳහන් කර ඇත්තේ, ලෝක කුසලානයට පැමිණෙන පිරිස් කවුරුන් වුවද තරාතිරම නොබලා කැනේඩියානු නීතියට අනුව පසුබිම පරික්ෂා කරන බවත්, ආරක්ෂාවට තර්ජනයක් විය හැකි යැයි හැඟෙන ඕනෑම අයෙකුට ඇතුළුවීම ප්‍රතික්ෂේප කිරීමට තම නිලධාරීන්ට බලය ඇති බවත්ය.
කෙසේ වෙතත්, ඝානා කණ්ඩායම සහභාගී වන ඉතිරි මූලික වටයේ තරග දෙකම ඇමරිකා එක්සත් ජනපදය තුළ පැවැත්වෙන බැවින් ඊට ක්‍රීඩා කිරීමට පාටේට අවස්ථාව හිමි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ඒ අනුව ජුනි 23 වැනිදා බොස්ටන්හිදී එංගලන්තයට එරෙහිවත්, ජුනි 27 වැනිදා ෆිලඩෙල්ෆියාහිදී ක්‍රොඒෂියාවට එරෙහිවත් පැවැත්වෙන තරග සඳහා ඔහු එක්වීමට නියමිතය. තෝමස් පාටේ මේ දක්වා ඝානා ජාතික කණ්ඩායම වෙනුවෙන් තරග 58කදී ගෝල 16ක් රැස් කරමින් කැපී පෙනෙන දක්ෂතා දක්වා ඇති ක්‍රීඩකයෙකි.







