ශ්‍රී ලංකාව දැනට මුහුණ දී ඇති දැඩි ඉන්ධන අර්බුදයට විසඳුමක් ලෙස ප්‍රමුඛතා පදනම මත මෙරටට ඉන්ධන ලබා දීමට චීනය එකඟතාව පළ කර ඇතැයි සන්ඩේ ටයිම්ස් වාර්තා කරයි. චීන තානාපති චී ෂෙන්හොං ඊයේ ජනාධිපති අනුර කුමාර දිසානායක සහ විදේශ අමාත්‍ය විජිත හේරත් හමු වී මේ බව තහවුරු කර ඇත.
මෙම ඉල්ලීම චීනයෙන් සිදු කරනු ලැබුවේ ඉන්දියාවෙන් සහ රුසියාවෙන් ද සහාය පතන අතරතුර ය. ඒ අනුව, චීනයෙන් ලැබෙන පළමු ඉන්ධන නැව්ගත කිරීම අප්‍රේල් මැද භාගයේදී මෙරටට ළඟා වීමට නියමිතය. මෙම තොගය සයිනොපෙක් (Sinopec) සමාගම විසින් මෙරට පවත්වාගෙන යනු ලබන පිරවුම්හල් සඳහා ගෙන්වනු ලබන තොගවලට අමතරව රජයට ලැබෙන විශේෂ ආධාරයකි.
“පවතින බලශක්ති අර්බුදය හමුවේ චීනයෙන් කළ ඉල්ලීමට ශ්‍රී ලංකාවේ පැරණි සහ විශ්වාසවන්ත මිතුරෙකු ලෙස ඔවුන් යහපත් ප්‍රතිචාර දැක්වූවා,” යැයි විදේශ අමාත්‍ය විජිත හේරත් සඳහන් කළේය.
මේ අතර, රුසියාවෙන් බොරතෙල්, ගල්අඟුරු සහ පොහොර මිලදී ගැනීම සඳහා සබඳතා ශක්තිමත් කර ගැනීමට රජය කටයුතු කරමින් සිටී. එහෙත් රුසියාවට පනවා ඇති ඇමෙරිකානු සම්බාධක හේතුවෙන්, රුසියානු ඉන්ධන ආනයනය කිරීම සඳහා විශේෂ නිදහස් කිරීමක් (Waiver) ලබා දෙන ලෙස ශ්‍රී ලංකාව ඇමෙරිකාවෙන් ඉල්ලා ඇත.
මෙම ඉල්ලීම මීට සති දෙකකට පෙර ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමෙරිකානු විශේෂ නියෝජිත සර්ජියෝ ගෝර් වෙත ඉදිරිපත් කර තිබුණද, මේ දක්වා ඊට නිල ප්‍රතිචාරයක් ලැබී නොමැත.
පසුගිය මාර්තු මාසයේදී ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මුහුදේ ඇති රුසියානු බොරතෙල් නැව් විකිණීම සඳහා දින 30ක සහනයක් ලබා දුන් අතර එය අප්‍රේල් 11 වැනිදායින් අවසන් වේ. රජයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ අවම වශයෙන් මාස තුනක සහනයක් සහතික කරන්නේ නම් මිස රුසියානු ඉන්ධන මිලදී ගැනීමේ ගිවිසුම ඉදිරියට ගෙන යා නොහැකි බවයි.







