පාස්කු ප්‍රහාරය සිදුවන්නට හැරීම සම්බන්ධව බරපතල චෝදනා ගණනාවකට ලක් වී පාස්කු කොමිෂන් සභාවේ දී අත්තනෝමතික ලෙස සිය රාජකාරි පැහැර හැරීම සම්බන්ධව හෙළිදරවු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සංජීව බණ්ඩාර පොලිස් සුබ සාධන කොට්ඨාසයේ අධ්යක්ෂ ධූරයේ සිට කුරුණෑගල කොට්ඨාස භාර නිලධාරියා ලෙස පත්කිරීමට කළ උත්සාහය ව්‍යර්ථ වීමෙන් අනතුරුව ඔහුව කන්තලේ කොට්ඨාස භාර නිලධාරියා ලෙස පත් කර තිබීම යළිත් පොලිසිය තුළ ආන්දෝලනයක් ඇති කර තිබේ.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සංජීව බණ්ඩාර යනු පාස්කු ප්‍රහාරය සම්බන්ධව රාජකාරි පැහැර හැරීම සම්බන්ධව දැඩි චෝදනා ලැබ අනතුරුව ජාතික පොලිස් කොමිසම සිදුකරගෙන ගිය විමර්ශනයකට යටත්ව තනතුරින්ද පහත හෙළා සිටි නිලධාරියෙකි. ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පාස්කු විමර්ශන ජනාධිපති කොමිෂන් සභාව ද නිර්දේශ කර තිබිය දී ඔහු පොලිස් සුබ සාධන කොට්ඨාසයෙන් ඉවත් කර කන්තලේ පොලිස් කොට්ඨාසය භාර දීමට පොලිසියේ ඉහළ පරිපාලනය කටයුතු කර ඇත.

රජය විසින් ලබා දුන් ප්‍රධාන මහජන පොරොන්දුවක් කඩකර කතෝලික ප්‍රජාව ඇතුළු පාස්කු ප්‍රහාරය හේතුවෙන් වින්දිතයන් වූ මේ රටේම ජනතාවගේ අභිලාෂයන් බිඳ දමන බවට මේ පත්වීමත් සමග රජයට යළිත් චෝදනා එල්ල වී තිබේ.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සංජීව බණ්ඩාර යනු පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දැනුවත් කරමින් එවකට නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක විසින් යොමු කර තිබු අනතුරු ඇඟවීම ඇතුලු ඊට සම්බන්ධ ලේඛනවලට ප්‍රහාරය වනතුරු අත තබා නොතිබුණ බව පාස්කු විමර්ශන කොමිසමේ දී හෙළිවූ නිලධාරියෙකි.
එමෙන්ම සිද්ධියේ වගකීමෙන් ගැලවීම සඳහා ඔහු පොලිස් ලොග් සටහන් වෙනස් කිරීමට මැදිහත් වුන ආකාරය ද කොමිසමේ දි අනාවරණය විය.
මේ ගැන කොමිෂන් සභාව විසින් ප්‍රශ්න කරද්දී ඔහු කොමිසමට බොරු සාක්ෂි දෙන්නට ගොස් අසුවුනේය. දිවුරුමක් ලබා දී ප්‍රකාශ ලබාදිමේදීත් අසත්‍ය ප්‍රකාශ සිදු කරන්නේ නම් අධිකරණයට අපහාස කිරිමේ වරද යටතේ දඩුවම් පැනවීමට කටයුතු කරන බව කොමිසමේ සභාපති විනිසුරුවරයා කොමිෂන් සභාව තුළ දී ඔහුට අවවාද කළේය.
මෙම නිලධාරියා පාස්කු ප්‍රහාරය සම්බන්ධව ස්වකීය ගර්හිත හැසිරීම හේතුවෙන් වැඩ තහනමට ලක්වූවා පමණක් නොව, සිය තනතුර ද පහළ හෙළා සිටි නිලධාරියෙක් බව පොලිසිය පවසයි.







