බන්ධනාගාර තුළ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාලය සම්බන්ධ කටයුතු මැඬ පැවැත්වීමට පියවර ගන්නා ලෙස බන්ධනාගාර ප්‍රධානීන් ඇතුළු බලධාරීන් ජනාධිපති කාර්යාලයට ගෙන්වා ජනාධිපති අනුර කුමාර දිසානායක අද( 30) දැනුම් දුන්නේය.

මත්ද්‍රව්‍ය සහ පාතාලය සම්බන්ධ රැඳවියන්ගේ නඩු කටයුතු කඩිනමින් නිම කරන ලෙස මෙහිදී නිලධාරීන්ට දැනුම් දුන් ජනාධිපතිවරයා ඒ සඳහා මාර්ගගත ක්‍රමය අනුගමනය කිරීමේ හැකියාව ද අවධාරණය කළේය.
මාර්ගගත ක්‍රමයට නඩු කටයුතු සිදු කිරීමේ දී මතු වන දුෂ්කරතා හඳුනාගෙන ඊට අදාළ යටිතල පහසුකම් වැඩිදියුණු කරන ලෙසද ජනාධිපතිවරයා වැඩිදුරටත් දැනුම් දුන්නේය.
බන්ධනාගාර තුළ සිදුවන අක්‍රමිකතා සඳහා නිලධාරීන්ගේද සම්බන්ධයක් ඇති බවට මතු වන චෝදනා පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණු අතර ඊට සම්බන්ධ නිලධාරීන්ට ආයතනයේ විනය ක්‍රියා මාර්ගවලට එහා ගොස් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් දෙනු ලැබීය.
රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ දැනට තිබෙන පුරප්පාඩු සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වූ අතර එම පුරප්පාඩු කඩිනමින් පිරවීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරිණි.
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් නීතිඥ අයේෂා ජිනසේන, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.







