ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ සභාපති ධූරයට ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් පත් කරනු ලැබූ ප්‍රබල මාලිමා හිතවාදියෙක්වන ප්‍රසව හා නාරිවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජයන්ග තිලකරත්න ජයවර්ධනපුර රෝහලේ සභාපති ධූරයට අමතරව කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේ නේවාසික ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරයා ලෙස පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන ඇති තීරණය සම්මත පටිපාටිය පමණක් නොව සදාචාරය ද අමු අමුවේ උල්ලංඝණය කිරීමක් ජයවර්ධනපු රෝහල් ආරංචි මාර්ග පවසයි.
මීට පෙර ඇල්පිටිය මූලික රෝහලේ සේවය කරමින් සිටි මෙම විශේෂඥ වෛද්‍යවරයා 2024 සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සභාපතිවරයා ලෙස පත් කරනු ලැබුවේ එවකට සෞඛ්‍ය අමාත්‍යවරිය ලෙස ද කටයුතු කළ අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය විසිනි. ඔහු පරිපාලන අත්දැකීම් සහිත හෝ සුදුසුකම් සහිත වෛද්‍යවරයෙක් නොවන බව ද පැවසේ.
විශේෂඥ වෛද්‍ය ජයන්ග තිලකරත්න වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සභාපති ධූරයට පත්කර එවන්නේ වසර තුනක් සඳහා එම රාජකාරිය සම්පූර්ණ කිරීමටය. ඔහු වෙනුවට ඇල්පිටිය මූලික රෝහල වෙත වැඩබලන විශේෂඥ වෛද්‍යවරයෙකුද පත් කර යවා තිබිණි.
එසේ තිබිය දී සෞඛ්‍ය අමාත්‍යාංශය කාසල් රෝහලේ නේවාසික ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යව තනතුර පුරප්පාඩු වූ වහාම එම තනතුරට ඔහුව පත් කරනු ලබන්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතියකින් තොරව බව වාර්තා වේ.
රටේ පවතින නීතියට අනුව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අවසරයකින් තොරව අර්ධ රාජ්‍ය හෝ රජයේ රෝහලක පත්වීමක් ලබා දිය නොහැකිය.
එමෙන්ම මේ අත්තනෝමතික පත්වීම සිදුකර ඇත්තේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ වාර්ෂික ස්ථාන මාරුවීම් ලේඛනය උල්ලංඝනය කරමින් එම තනතුරට පත්වීමට සිටි විශේෂඥ වෛද්‍යවරයාගේ අවස්ථාව ද අහිමි කරමින් බව වෛද්‍යවරු කියති.
සම්ප්‍රදාය සහ නිශ්චිත ක්‍රමවේද උල්ලංඝණය කරමින් විශේෂඥ වෛද්‍යවරුන්ගේ දැඩි විරෝධය නොතකා සෞඛ්‍ය අමාත්‍යාංශය හැසිරෙන බවත් ජාතික ජන බලවේග රජයක් යටතේ මෙවැනි හැසිරිමක් වෛද්‍යවරයෙක් ද වන සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්සගෙන් හෝ ජනාධිපතිවරයා විසින් පත් කළ සෞඛ්‍ය ලේකම්ගෙන් කිසිසේත් අපේක්ෂා නොකළ බවත් ලංකාසරට අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍යවරු පිරිසක් පැවසූහ.
මේ සම්බන්ධව විමසීමට අමාත්‍යංශ ලේකම් අනිල් ජයසිංහත්, කාසල් රෝහලේ අධ්‍යක්ෂවරයාත් සම්බන්ධ කරගැනීමට ලංකාසර කළ උත්සාහය ව්‍යර්ථ විය.
මේ ලිපියත් බලන්න…
මණ්ඩලය කචල් කළ ජයවර්ධනපුර රෝහලේ කතාව… ජයවර්ධනපුර රෝහල ආණ්ඩුවේ ඉදිරිගමන ගැන නිමිත්තක් ද?…







