දිනසේන රතුගමගේ –
ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ ( ITAK ) හිටපු නායක මාවෙයි සේනාධිරාජා පක්ෂයේ තීන්දු තීරණ ගැනීමේ ක්‍රියාවලියෙන් හා සෙසු ක්‍රියාකාරකම් වලින් ඊයේ (12 ) සිට ඉවත් වී සිටියි.
ඔහු ප්‍රකාශ කළේ කාලයක් තමන්ට නිහඩව හා විවේකීව සිටීමට අවශ්‍ය බවය.
මේ සම්බන්ධයෙන් විස්තර විමසූ විට එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මනත්‍රී එස්. සිවමොහාන් කියා සිටියේ නාම යෝජනා සකස් කිරීමේදි සිදු වූ සිදුවීම් කීපයක් මත මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරයා දැඩි කනස්සල්ලකින් සිටි බවයි.
සම්මුතිවාදීව පක්ෂය විසින් ගන්නා ලද තීරණ මත නාම යෝජනා ලබා දීමෙන් ඉවත් කළ පිරිසක් ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ නාම යෝජනාවලට අවසන් මොහොතේ ඇතුළත් කොට ඇති බවත් ඒ සම්බන්ධයෙන් මාවෙයි සේනාධිරාජා දැනුම්වත් නොකිරීමත් මේ අර්බූදයට හේතු වී ඇති බවයි.
නාම යෝජනා ලබා දීමට පෙර දැනට දෙකඩ වී තිබෙන ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය යළි සමගි කිරීමට මාවෙයි සේනාධිරාජා හිටපු නායකවරයා විශාල උත්සාහයක් ගත් නමුත් පක්ෂය තුළම සිටින මන්ත්‍රීවරු දෙදෙනෙකු ඊට අවනත නොවී පක්ෂය දෙකඩ කිරීම පිණිස තවත් කටයුතු කිරීම නිසාද මාවෙයි සේනාධිරාජා දැඩි ලෙස සිත් තැවුලකට පත්ව සිටි බවද ශිවමොහාන් හිටපු මන්ත්‍රීවරයා කියා සිටියේය.
කෙසේ වෙතත් මාවෙයි සේනාධිරාජා මේ සිද්ධීන් ගැන මාධ්‍යයට කිසිවක් ප්‍රකාශ නොකිරීමට තරම් පරිනත දේශපාලකයෙක් ලෙස හැසිරුනේය.







