පළමු තරගයේ දෙවැනි දිනය නිමා වී ඇත. ගාල්ලේ අතීත වික්‍රමයන් සම්බන්ධව අප සතුව වූ මහෝඝය ගැඹුරු කම්පනයකට ලක් වී ඇති අයරු දකිමු. මේ තරගයේ මුල් ඉනිම අද නවසීලන්තය තමන්ගේ පැත්තට හරවා ගත්තේය.
තරගය ආරම්භ වන්නේ කඩුළු 07ක් දැවී ලකුණු 302ක් ලබාගෙන තිබියදීය . රමේෂ් මෙන්ඩිස් නොදැවී ලකුණු 14ක් ද ප්‍රභාත් ජයසූරිය ලකුණු ලබාගැනීමකින් තොරව ද කඩුල්ලේ රැඳී සිටියේය. එහෙත් අද උදේ පන්දු 23ක් තුළ ලකුණු 3කට ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉතිරි කඩුළු 03 දැවී ගියේය. ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 305කට සියල්ලෝ දැවී ගියහ.
තවමත් ටෙස්ට් තරග තුනක ඉනිම 05ක් පමණක් ක්‍රීඩා කර ඇති නවසීලන්ත වේග පන්දුකාර යෞවනයා, විලියම් රෝක් දඟ පන්දු යවන්නන් ගේ වික්‍රම භූමිය ලෙස හඳුන්වා දෙන ගාල්ල තණතීරුවේ දී ශ්‍රී ලංකා ඉනිම සුන් කළේය. ඔහු මේ වනවිට ක්‍රීඩා කර ඇත්තේ ටෙස්ට් ඉනිම 05කි. ලබාගෙන අති කඩුළු ගණන 16කි. අවස්ථා දෙකක කඩුළු 05 බැගින් ලබාගෙනය. හොඳම පන්දු යැවීම ලකුණු 34ට කඩුළු 05කි. අද ගාල්ලේදීත් ඔහු කඩුලු 05 විශිෂ්ට සීමාවට ආවේය. ඔහු පන්දු ඕවර 18.5ක් තුළ ලකුණු 55කට කඩුළු 05ක් දවා ගත්තේය.

නවසීලන්ත ඉනිම බෙහෙවින්ම විශ්වාසනීය මෙන්ම ස්ථාවර එකක් වූ ආකාරය අපි දුටුවෙමු. නවසීලන්ත පන්දුකරණයේ දී ඇති කළ තියුණු දඟ කැවීම, අන්දමන්ද කරන දෝලනය අපේ පන්දු යවන්නන් ගෙන් අපි බලාපොරොත්තු වුනෙමු. එහෙත් ශ්‍රී ලංකා දඟපන්දු බලාපොරොත්තුව වූ ප්‍රභාත් ජයසූරියටවත්, අනෙක් දඟ පන්දු යවන්නන් තුන්දෙනාවත් පන්දුයැවීමේ අභියෝගාත්මක ඉලක්කය සහ පතිත කළ යුතු ස්ථානය සොයා ගත්තේ නැත.
එක්කෝ ක්‍රීඩාංගනය හරහා හමා එන තද සුළඟ මේ පන්දු යවන්නන් විකල් කළා විය හැකිය. ඒත් නැතිනම් නවසීලන්ත පිතිකරුවන් තම පාද චලනයේ රිද්මය ඔවුන්ගේ ඉලක්කය අවුල් කළා විය හැකිය. අප දුටුවේ නිදහසේ පිටිය පුරා පන්දුව යොමුකරමින් අභියෝගයකින් තොරව ලකුණු රැස් කරන නවසීලන්ත පිතිකරුවන්ය.

එහි ප්‍රතිඵලය බලාපොරොත්තු බිඳ දමන සුළුය. දැනට නවසීලන්ත කණ්ඩායම ලකුණු 255ට කඩුළු 04කි. මුල් ඉනිමේ හඹා ගොස් ස්ථාවර ඉලක්කයක් කරා යන්නට ඇත්තේ ලකුණු 50ක් පමණි. කඩුළු 06ක් අතැතිවය.
ආරම්භක පිතිකරුවන්වන ටොම් ලැතම් සහ ඩෙවොන් කොන්වේ අතර ආරම්භක සම්බන්ධතාවය ලකුණු 63කි. කොන්වේ ලකුණු 17කට දැවී ගියේය. එහෙත් ටොම් ලැතම් ලකුණු 70කි. කේන් විලියම්සන් ලකුණු 55කි. රචින් රවින්ද්‍ර ලකුණු 39කි. ඩෙරිල් මිෂෙල් නොදැවී ලකුණු 41ක් සහ කඩුළු රකින ක්‍රීඩක ටොම් බ්ලන්ඩල් නොදැවී ලකුණු 18කි. ලකුනු 255කට කඩුළු 04කි.
දවාගත් කඩුළු 4න් කඩුළු 2ක් ධනංජය ද සිල්වාගේ ය. දඟපන්දු යැවීමේ පසුබෑම ඉන් පෙනී යන්නේය. සෑම නව පිතිකරුවෙක්ම ඉක්මනින් ස්ථාවර වූයේය. කඩුළු දවාගෙන පීඩනයක් ඇති කරවීමට අපට නොහැකි විය. ඕවර දෙකක් ඇතුළත විලියම්සන් සහ රවීන්ද්‍ර දවා ගත් ධනංජය ද සිල්වාගේ පිපිරුමක් පමණක් ශ්‍රී ලංකා ආධිපත්‍යය පිළිබඳ යම් ආලෝකයක් ලබා දුන් නමුත් ඩැරල් මිචෙල් සහ ටොස් බ්ලන්ඩෙල් විසින් එම බලාපොරොත්තුව ඉක්මනින්ම බිඳ දැමුවේය.
විශේෂඥ දඟ පන්දු යවන ප්‍රභාත් ජයසූරිය ලකුණු 99කට කඩුල්ලකි. එය ගාල්ලේදී ඔහුගෙන් ප්‍රකට වුන නරකම පන්දු යැවීමය. තුන් ඉරියව් දඟ පන්දු යවන්නා රමේෂ් මෙන්ඩිස් ලකුණු 69ට කඩුල්ලකි. කමිඳු මෙන්ඩිස් එකම ඕවරයක් යැව්වේය. එම ඕවරයට ලකුණු 08කි.
මේ පන්දු යැවීමනම් හරියන්නේ නැත. නවසීලන්ත කණ්ඩායම ඉතිහාසයේ කිසිම ජයග්‍රහණයක් අත් කර නොගත් ගාල්ලේ දී ඔවුන් අපට තර්ජනයක් එල්ල කරන මූලික ලකුණු පහළ කරමින් ඇත. මොකක් හෝ අවුලක් සිදුවී තිබේ. සාකච්ඡා කර එය විසඳාගෙන හෙට දිනයේ මේ තරගය වෙනසක් කර නොගතහොත් නිසැකවම ජයග්‍රහණය හෝ විසඳුමකින් තොරව නිමා කරගැනීම තබා තරගය බේරා ගැනීමවත් පහසු වන්නේ නැත. පළමු ඉනිමේ ලකුණු 305ට වඩා ලබා ගන්නා සෑම ලකුණක්ම ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු බොහෝ ඈතට ගෙනියනු ඇත.







