කීර්ති ප්‍රනාන්දු –
මිනුවන්ගොඩ රූපලාවණ්‍යාගාරයකදී කාන්තාවගේ හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු එම කාන්තාවගේ කෙස් කළඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එම රූපලාවණ්‍යාගාරයේ සේවිකාව රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්වරිය වූ ටී තේනබදු ඊයේ (18) නියෝග කළාය .
මෙසේ ඇප මත මුදා හරිනු ලැබුවේ එම රූපලාවණ්‍යාගාරයේ සේවිකාවක් ලෙස කටයුතු කළ බව කියන අංක 14/ ඒ ශ්‍රමදාන මාවත කලවාන මිනුවන්ගොඩ ලිපිනයේ පදිංචි සඳුනි හංසිකා පියුමාලි නමැති අයෙකි. .
මෙහිදී අගතියට පත් පැමිණිලිකාර කාන්තාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සරල කරුණාරත්න මෙම කාන්තාවගේ හිස කෙස් යථා තත්ත්වයට පත් වෙතැයි ස්ථිර ලෙස කිව නොහැකි බව වෛද්‍යවරුන් පවසන බවත් සිදුවී ඇති අලාභය නැවත ප්‍රතිපූර්ණය කර ගතය නොහැකි බවත් රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය තවමත් සැඟවී සිටීම නිසා අගතියට පත් කාන්තාව වෙනුවෙන් සානුකම්පිතව මුදලක් ඉල්ලා සිටින බවත් අධිකරණයට පැවසීය .
මෙහිදී සැකකාර තරුණිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් දිසානායක විත්තිකාරිය මෙම රූපලාවන්‍ය ආයතනයේ සේවිකාවක් නොවන බවත් ඇය මීගමුව ප්‍රදේශයේ ආයතනයක සිදුකළ හැදෑරීමකින් පසුව මෙම රූපලාවණ්‍යාගාරයේ පුහුණුවීම් ලබමින් සිටි තැනැත්තියක් බවත් අධිකරණයට කරුණු දැක්වීය .
පසුව දෙපාර්ශවයේම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය අගතියට පත්ව සිටින පැමිණිලිකාර කාන්තාව වෙනුවෙන් සානුකම්පිත දීමනාවක් ලෙස රුපියල් 25000ක මුදලක් ලබා දෙන ලෙස නියෝග කළාය .
මේ අතර පාරිභෝගික සේවා අධිකාරිය වෙනුවෙන් එහි විමර්ශන නිලධාරිනි රමාෂා තත්සරණි අධිකරණයට කරුණු දක්වමින් පැවසුවේ රූපලාවන්‍යාගාරය ඉබි යතුරු දමා වසා තිබීමත් එහි හිමිකාරියව තවමත් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන නොතිබීමත් හේතුවෙන් එය විවෘත කර පරීක්ෂා කිරීමට නොහැකි වී ඇති බවය .
මෙහිදී පොලිසිය ද අධිකරණයට කරුණු දක්වමින් රූපලාවන්‍යාගාරයේ හිමිකාරියව තවමත් අත්අඩංගුවට ගැනීමට නොහැකි වීම නිසා එය විවෘත කර ගත නොහැකිව සිටින බව දැන්වීය .
එහිදී මහේස්ත්‍රාත්වරිය එම රූපලාවණ්‍යාගාරය විවෘත කර එහි ඇති ද්‍රව්‍ය පරීක්ෂා කිරීමට අධිකරණ නියෝගයක් ලබාදී තිබියදී එය විවෘත කිරීමට එහි හිමිකරුවන් අවශ්‍ය නැති බැවින් රූපලාවණ්‍යාගාරයේ ඉබි යතුරු කඩා විවෘත කර එහි ඇති ද්‍රව්‍ය පරීක්ෂා කරන ලෙසට පොලිසියට සහ පාරිභෝගික සේවා අධිකාරියට නියෝග කරනු ලැබීය .
අගතියට පත් පැමිණිලිකාර කාන්තාව වෙනුවෙන් නීතිඥවරුන් වන සරල කරුණාරත්න රංජිත් දිසානායක අශාන් ලක්මාල් හෂානි සෙනරත් නිල්දු ඩයස් යන නීතිඥවරුන් පෙනී සිටි අතර විත්තිකාරිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ නලින් දිසානායක සහ ප්‍රියන්ති ලියනාරච්චි පෙනී උන්හ.







