ජනපතිවරණය සඳහා දින තුනක් පමණක් ඉතිරිව තිබියදී ම්‍යධම පළාත් ආණ්ඩුකාරවරයා විසින් මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්යක්ෂ ධුරයට නව නිලධාරියෙක් අද (18) පෙරවරුවේ පත්කිරීම දැඩි ආන්දෝලනයකට ලක් වී.
මෙසේ එම තනතුර සඳහා පත් කර ඇත්තේ ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 1 ශ්‍රේණියේ නිලධාරියකු වන නිහාල් අලහකෝන්ය.
ඊට අදාළ පත්වීම් ලිපිය මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ අද(18) පෙරවරුවේ සිය කාර්යාලයේදී නිහාල් අලහකෝන් වෙත ලබා දී ඇත.
ජනපතිවරණයට දින කීපයක් තිබියදී මේ ආකාරයෙන් මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක ධූරය සඳහා පුද්ගලයෙකු පත් කිරීම ගැටලු සහගත බවත් මෙය මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් ද යන්න සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරී චන්දන තෙන්නකෝන් ගෙන් විමසීමක් කළ බවත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පැවසීය.
තමන් මේ සම්බන්ධව මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම්වරයාගෙන් විමසීමක් කළ බවත් පත්වීමට අදාළ සම්මුඛ පරීක්ෂණ පසුගිය දොළොස්වෙනි දින සිදු කළ බව ඔහු පැවසූ බවත් ජෝෂප් ස්ටාලින් කීවේය.
අදාළ නිලධාරියාගේ සුදුසුකම් පිළිබඳ ගැටළුවක් නොමැති වුවත් ජනපතිවරණය පැවැත්වීමට දින තුනක් තිබියදී මේ ආකාරයෙන් පත්වීම් ලබා දීමෙන් පත්වීම් ලාභියා ද ගැටලු වලට මුහුණ දෙන බව හෙතෙම අවධාරණය කළේය.
මෙම පත් කිරීම සම්පූර්ණයෙන්ම දේශපාලන අතපෙවීමක් මත සිදුව තිබෙන බවට සැක කළ හැකි සාධක පවතින බව ද මධ්‍යම පළාත අපොස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ ප්‍රතිඵල මගින් පහතටම ඇද වැටී තිබියදී අදාළ පත්වීම කරන්නට ජනපතිවරණය අවසන් වන තුරු ආණ්ඩුකාරවරයාට ඉවසා සිටීමට නොහැකි වූ කාරණය කුමක්ද යන්න ගැටලුවක් බව ද මධ්‍යම පළාත් සභාවේ හිටපු ඇමතිවරයකු වන තිළිණ බණ්ඩාර තෙන්නකෝන් පැවසුවේය.
මෙම පත්වීම සම්බන්ධයෙන් ට්‍රන්ස් පේරන්සි ආයතනය ද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිඛිතව පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.







