-
අධිකරණ නියෝගය නිකුත් කර දින 07යි… තවම අත්අඩංගුවට ගෙන නෑ…. ඉදිරි සියලුම කටයුතු අඩාලයි!
විෂ සහිත අලේපයක් ගැල්වීමෙන් අනතුරුව කොණ්ඩය සකස් කරගැනීමට පැමිණි කාන්තාවකගේ හිසකෙස් සියල්ල ගැලවීයාමෙන් පසු සැලෝන් එකේ ඉබි යතුරු දමා පලා ගොස් ඇතැයි කියන කාන්තාවන් තුන්දෙනා අධිකරණ නියෝග මත අත් අඩංගුවට ගැනීමට හෝ ඉබි යතුරු දැමූ සැලෝන් එකේ ඉබි යතුරු ඉවත් කර දී අධිකරණය නියෝග කර ඇති පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කිරීම සඳහා පාරිභෝගික අධිකාරියට ඉඩලබා දීමට මිනුවන්ගොඩ පොලිසිය අසමත්වීම සම්බන්ධව මේ වනවිට දැඩි විවේචනයක් මතු වෙමින් තිබේ.

මිනුවන්ගොඩ පොලිසියේම පොලිස් පොඩ්ඩන් පවසන්නේ අධිකරණ නියෝගය නිකුත් වී දින 07ක් ගතවනතුරුත් මෙම කාන්තාවන් තිදෙනා අත් අඩංගුවට ගැනීමට අපොහොසත්වීම පොලිසියේ අපරාධකරුවන් අත් අඩංගුවට ගැනීමේ විමර්ශනවල නොහැකියාවක්ම නොවන බවය.
වින්දිත කාන්තාව මෙම තත්ත්වයට මුහුණ දෙන්නේ පසුගිය 30 වැනිදා ය. ඇය එදිනම පොලිසියේ පැමිණිල්ලක් සටහන් කරන්නීය. එදිනම පොලිසිය මෙම සැලෝන් එකට යනවිට සැලොන් එකට ඉබි යතුරු දමා මෙම කාන්තාවන් නිවෙස්වලින්ද පලා ගොස් තිබිණි.
සිද්ධියෙන් වින්දිත කාන්තාව එදිනම මිනුවන්ගොඩ රෝහලට ඇතුළු වීමෙන් පසු ගම්පහ රෝහලට මාරු කර යවා තිබිණි. 31 වැනිදා රෝහලෙන් පිටව එන ඇයගේ වැඩිදුර ප්‍රකාශ සටහන් කරගන්නේ පසුගිය 01 වැනිදා ය. පසුගිය 02 දා පොලිසිය උසාවියට මේ සම්බන්ධව කරුණු වාර්තා කරන අතර මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්වරිය වූ ටී තේනබදු සිද්ධියට අදාල කාන්තාවන් තිදෙන් අත් අඩංගුවට ගැනිමට සෝදිසි වරෙන්තුවක් නිකුත් කරන්නීය.
මීට අමතරව පාරිභෝගික සේවා අධිකාරියට රූපලාවණ්‍ය ද්‍රව පරීක්ෂා කර බලා වහාම අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නියෝග කළාය. මේ පිළිබඳව අප කළ විමසුමක දී පාරිභෝගික අධිකාරියේ
ගම්පහ දිස්ත්‍රික් ප්‍රධානී උදය නාමල්ගම පවසන්නේ ඉබි යතුරු දමා ඇති රූපලාවන්‍යාගාරය විවෘත කරගැනීමට ඇති නීතිමය බාධකය හේතුවෙන් මහේස්ත්‍රාත් නියෝගය මත ඉදිරි පරීක්ෂණ කටයුතු කිරීමට නොහැකි වී ඇති බවය.
උසාවි නියෝග දිලා තියෙන්නේ වරෙන්තු කාරයො අල්ලන්න. අපට දීලා තියෙන්නේ වාර්තාවක් දෙන්න. ඉබි යතුරු කඩලා සැලෝන් එකේ ඇති ද්‍රව්‍ය පිළිබඳ විමර්ශනයක් කරන්න නම් මුලින්ම මේ සැකකාරියො පොලිස් අත් අඩංගුවට ගන්න ඕන. අපේ පනතට අනුව ව්‍යාපාරික ස්ථානයක් පරීක්ෂා කරනවා මිසක් යම් ස්ථානයක ඉබි යතුරු කඩලා පරික්ෂා කරන්න බලයක් නෑ. අඩුම තරමින් පොලිසිය සැකකාරියන්ගේ ඥාතියෙක් හෝ අරන් ඇවිත් එම ස්ථානය විවෘත කරනවා නම් අපට ප්‍රශ්නයක් නෑ.” ඔහු පැවසුවේය.
පාරිභෝගික සේවා අධිකාරිය පවසන්නේ සිද්ධිය සම්බන්ධව පොලිසියට අවස්ථා කීපයක දී දැනුම් දුන්නත් නිශ්චිත පිළිතුරක් නොලැබුන බවය.
කෙසේ වෙතත් පොලිසිය පවසන්නේ සිද්ධිය සම්බන්ධව දිවා රෑ නොතකා පොලිසි විමර්ශන සිද්ධ වෙමින් ඇති ආකාරය ය.
සිද්ධිය සම්බන්ධව ලබන 13 දා පොලිසිය උසාවියට කරුණු දැක්වීමට නියමිතව ඇත.







