-
දුම්රිය පෙට්ටි අලුත්වැඩියාවේ පරිචය නිරීක්ෂණය කරන ලෝකය අපට දුම්රිය පෙට්ටි නිශ්පාදන ඇනවුම් දෙන්න සූදානම්… පිටින් ගේනකොට අපේ උන්ට ලැබෙන කොමිස් කුට්ටි ගැන නොසිතා මුලින්ම රටේ දුම්රිය සේවයට පෙට්ටි කීපයක් හදන්න අනුමැතිය ලැබුනොත් රටම ගොඩ යන විදිහ කියන්නම්… ඔහුට සවන් දෙන්න
කණිෂ්ක අතුල හපුතන්ත්‍රී ගැන අප දන්නේ නැත. ලෝකය රංජනය කළ සැබෑ මිනිස්සු අඬබෙර ගහගෙන කලඑළි බසින්නේ නැති බැවිනි. ඔහු නාවික ඉංජිනේරුවෙකි. පැමිණෙන අභියෝග සඳහා නිර්මාණාත්මකව මුහුණ දෙමින් තමන්ගේ රටේ සලකුණ සමග ලෝකය අතික්‍රමණය කළ නිහඬ විද්වතෙකි.
රටක් ලෙස මෙවැනි අසිරිමත් මනුෂ්‍යයන් ගැන දැනගත යුතුව ඇතැයි විශ්වාස කරමු. බිඳ වැටී තුන්කුන්දුන් ගැසී සිටින ජාතියකට ගොඩ එන්නට මෙවැනි එක් මිනිසෙකුගේ දර්ශනය සහ චින්තන ප්‍රවේශය පමණක් ප්‍රමාණවත් වන බැවිනි.
මේ ලිපිය සිළුමිණ පුවත්පත වෙනුවෙන් ටානියා මෝසස් විසින් සපයා තිබිණි. එම ලිපියේ විචිත්‍රවත්ම කොටස මෙසේ උපුටා පල කරමු.
-
නැව් අලුත්වැඩියාව ට්‍රේලර් නිර්මාණයට මාරු වීම
“මගේ තාත්තා නාවික හමුදා ඉංජිනේරු නිලධාරියෙක්. එයා සිය අවුරුදු 22ක නාවික හමුදා වෘත්තිය ජිවිතයෙන් විශ්‍රාම ගියට පස්සේ වර්ෂ 1976 දි නැවු අලුත්වැඩියා කිරීමේ ව්‍යාපාරයක් පටන් ගත්තා.”
“ මේ ව්‍යාපාර කටයුතු අපි පටන් අරන් කරගෙන යනවිට රටේ ඇතිවි වර්ධනය වෙච්චි යුදමය තත්ත්වය නිසා වරාය තුළ අධි ආරක්ෂිත තත්ත්වයත් , ඩොක් යාර්ඩ් එකේ සිද්ධ වෙච්චි විදේශ ආයෝජන සමග එම ආයතනය ගත්ත පරිපාලනමය තින්දුත් නිසා අන්තර්ජාතික සම්බන්ධතා එක්ක ගොඩනැගුන අපේ ව්‍යාපාරය පවත්වා ගැනීම පිළිබඳ ගැටලු ඇති වුනා.
දැන් ආයතනය සම්බන්ධව වැදගත් තීන්දුවක් ගන්න වුන අවස්ථාවක්. ඩොක් යාර්ඩ් එකෙන් පිටට ඇවිත් අපි මොකක්ද කරන්නෙ කියලා හිතමින් ඉද්දි අපේ අවධානය යොමුවෙන්නේ කන්ටේනර් ට්‍රේලර් නිශ්පාදනයට.
මේ වකවානුවේ කන්ටේනර් ට්‍රේලර් නිශ්පාදනය කළේ ලෝකයේ සමාගම් දෙකයි. ඔවුන් නිශ්පාදනය කළ අඩි 20 ට්‍රේලර් ලංකාවෙත් තිබුණා. නමුත් ලංකාවේ සමාගමකට අවශ්‍ය වුනා අඩි 40 ට්‍රේලර් නිශ්පාදනය කරගන්න. ඒ සඳහා ලැබුණ ඇනවුමක් තමයි මේ ක්ෂේත්‍ර වෙත අප යොමු කළේ. මේක සිද්ද වෙන්නේ තාත්තා මේ ව්‍යාපාරය පවත්වාගෙන යන වකවානුවේ. මේ ට්‍රේලර්ස් නිශ්පාදනය කරන්න නඩත්තු කරගන්න, කළමනාකරණය කරන්න තාත්තා තන්ත්‍රී ට්‍රේලර්ස් කියන ආයතන පිහිටුවා ගත්තා.
ප්‍රධාන නාවික ඉංජිනේරුවෙක් ලෙස රැකියාව කරගෙන හිටිය මම ලංකාවට එන්නේ 1998 දි. එතකොට මට අවරුදු 40යි. තාත්තගේ සෞඛ්‍ය තත්ත්වය ටිකක් පිරිහුන නිසා ඔහුට උපකාර කරමින් ටික දවසක් ඉඳලා යන්න ලංකාවට පැමිණි මම අනතුරුව දිගටම රටේ නැවතුනා.”
මම රටට ආවේ පරිවරතන කාලයක. මම හිතුවේ කවුද මේක කරන්නේ කියලා නෙමෙයි. අපි කොහොම ද මේක කරන්නේ කියලා. අපි ගත්තේ කණ්ඩායම් තීන්දු . ඒ වගේම අපි මේ තත්ත්වයට ආවේ ලෝකයේ ඉහළම තාක්ෂණය ඉතාම විචාරශීලීව හැකි උපරිම ප්‍රායෝගික මට්ටමින් අපේ කර්මාන්ත වෙනුවෙන් යොදා ගැනීමෙන්. අපි සුදුසුම දේ තෝරාගෙන එහි උපරිමය කරා ගමන් කළා.
අපේ රටේ ඉන්නේ හරිම බුද්ධිමත් තරුණ පිරිසක්. වෙන රටකදි අලුත් තාක්ෂණික ප්‍රවේශයක දි විශේෂ පුහුණුවක් ලබා දෙනවා. ඒ වෙනුවෙන් විශේෂඥවරු ඇවිත් වැඩමුළු පවත්වනවා. මා දැකපු විශේෂම දේ තමයි ඔවුන් ආයාසයෙන් ලබා ගන්නා දැනුම අපේ තරුණයින් යන්ත්‍රයක් එක් වරක් හැසිරවීමෙන් පවා ලබා ගන්නවා. ඔවුන්ගේ බුද්ධිමය ඵලය තාක්ෂණිකව යමක් තේරුම් ගැනීමේ හැකියාව ඉතා ඉහළයි. නව තාක්ෂණය එක්ක ගැටෙමින් ඔවුන් විසින් කරන නිශ්පාදන තත්ත්වය සහ ප්‍රමිතිය අන්තර්ජාතික තලයේ ප්‍රමිතියකින් යුතු බව මා තේරුම් ගත්තා.
-
මේඩ් ඉන් ශ්‍රී ලංකා බර වාහන ට්රේලරස් පිටරට යැවීම
“අපි තන්ත්‍රී ට්රේලරස් නිශ්පාදන විදිහට ට්‍රේලර්ස් එක්පෝර්ට් කරන්න ගත්තා එක එක රටවලට. මුලින්ම යැව්වේ අප්‍රිකානු රටවලට. ඊට පස්සේ මැද පෙරදිග රටවලට අපි ට්‍රේලර්ස් යැව්වා. මාලදිවයිනට, ෂීෂෙල්ස් වගේ පොඩිි රටවලින් පටන් ගත්තු මේ අපනයනය දැන් ඇමරිකාවට, ඔස්ට්‍රේලියාවට ඇතුළු රටවල් 55කට කරනවා.”
“මේ ක්ෂේත්රයේ තියන වෙනස එක දිගට රටක් මුල් කරන් කරන අපනයනයක් නෙවෙයි. ලෝකයේ ඒ ඒ රටවල අවශ්‍යතා අනුව ඇනවුම් ලබාගෙන කරන නිශ්පාදන අපනයනයක්. “
අනෙක මේ නිශ්පාදනයේ සියල්ල ලංකාවෙ හදනවා නෙමෙයි. ඇක්සල් එක බ්රේක් සිස්ටම් එක පිටරටින් අපි ගන්නවා. සියල්ල ලංකාවෙ හදන අදහසට යන්න හොඳත් නෑ. අපට ඒ විදිහට කරන්නත් බෑ. අපි ට්‍රේලර්ස් වලින් නවතින්නෙ නැතිව විවිධ නිශ්පාදන දියුණු කළා.
ඒ අතරෙ යුද්ධය දිගටම තියනවා. රටේ යුද්ධයක් තියෙද්දි අපේ කෂේත්රයේ නිශ්පාදනයක් සඳහා එකම සහ හොඳම ගැනුම්කරුවා විදිහට අපට හිටියේ යුද හමුදාව. අපි බැලුවා මොනවද කරන්න පුලුවන් කියලා. යුද හමුදාවට යුද ටැංකි රැගෙන යා හැකි ට්‍රේලර්ස් අපේ ආයතනයෙන් හදන්න අනුමැතිය ගත්තා. හමුදාව වෙනුවෙන් ට්රේලරස්වල තියාගෙන අදින තෙල් ටැංකි හැදුවා.
-
පිටරට යවපු මෙඩ් ඉන් ශ්‍රී ලංකා ජංගම සන්නිවේදන කුලුනු
ඒ වනවිට පැවති මහා යුද්ධයේ දී සතුරු පාර්ශවය මුලින්ම පහර දෙන්නේ හමුදාවේ සන්නිවේදන පද්ධතියට. ඊට පස්සේ සමස්ථය අඳුරුයි. මේ තත්ත්වය තුළ හමුදාවේ සන්නිවේදනය කාර්ය සාර්ථක කරගන්න ට්‍රේලරයක් උඩ තබාගෙන තැනින් තැනට රැගෙන යා හැකි ජංගම සන්නිවේදන කුලුනු අපි හැදුවා. හමුදාවට කළ මේ ජංගම සන්නිවේදන කුලුනු නිශ්පාදනය තමයි අපි සන්නිවේදන ක්ෂේත්රයට සම්බන්ධ කළේ.
මේක අපේ ව්‍යාපාර ක්ෂේත්රයේ හැරවුම් ලක්ෂයක්. මේ ජංගම සන්නිවේදන කුලුනු අපි විවිධ රටවලට අපනයනය කළා. මැදපෙරදිග ඒ ජංගම සංඥා කුලුණුවලට විශාල ඉල්ලුමක් තිබුණා.
පොලව යට ඇති තෙල් නිධි නිසා මැදපෙරදිගදි පොළව හාරන්න ලයිෂන් එකක් ගන්න සෑහෙන කාලයක් යනවා. ඒ නිසා ට්‍රේලර් එක නවත්වලා විදුලියෙන් උඩට යන ටවර් ඔවුන්ට කදිම විසඳුමක් වුනා. මෙම ජංගම සන්නිවේදන කුලුනු අප්‍රිකානු රටවලට පිලිපීන වැනි රටවලට අපනයනය කළා. මේ අපනයනය අදටත් දිගටම සිද්ධ වෙනවා. මේ වනවිට අපි 5G කුලුනු ලංකාවේ නිශ්පාදනය කරනවා.
කොවිඩ් වකවානුවේ දරුවන්ට අධ්‍යාපනය ලබා ගැනීම සඳහා පහසුකම් සපයන සංඥා ආවරණ කුලුනු පද්ධතිය හැදුවේ අපි. හමුදා මූලස්ථානයේ තියන දැනට ලංකාවේ ඇති ලොකුම සංඥා කුළුණත් අපේ නිර්මාණයක්.
-
ඇමරිකානු හමුදාවටත් සංඥා කුලුණු විකුනපු හැටි
මේ සංඥා කුලුනු අපනයනයේ අතිශය සිත්ගන්නා සුළු කතාවක් ඇත්තටම මේ සංඥා කුලුනු උපරිම තාක්ෂණය සහිතව මුලු ලෝකයට නිශ්පාදනය කළේ ඇමරිකාව. ඒ තාක්ෂණයේ මූලධර්ම මත අපි කරපු නිශ්පාදනය තාක්ෂණිකව අලුතින් එකතුවෙන හැම අංගයක්ම එක් කරලා සූක්ෂම විදිහට වැඩි දියුණු කළා. ඒක වැඩිදියුණු කිරීම බැලුවට පස්සේ ඇමරිකානු නිශ්පාදනයෙ විදිහවත් නෙමෙයි මේක. ඊට වඩා දියුණුයි. “
“එක දවසක් මට කෝල් එකක් ආවා. කෝල් කළේ යූ.එස් ජෙනරල් කෙනෙක්. එයා කෝල් කරලා ඇහුවා කමියුනිකේෂන් ටවර්ස් හදලා තියනවාද කියලා. මම කිව්වා ඔව් කියලා. මට තේරුණා ඔහු මේ සියල්ලම දැනගෙන තමයි මගෙන් අහන්නේ කියලා.”
ඊට පස්සේ මගෙන් ඇහුවා ආවොත් බලන්න පුලුවන් ද කියලා. මම කිව්වා පුලුවන්. කවද්ද එන්නේ කියලා. ඔහු කිව්වා හෙට එන්න පුලුවන් කියලා. ඇත්තටම ඒ උත්තරය නිසා මම තිගැස්සුනා.
ඔහු ඇතුළු කණ්ඩායමක් කුවේට් වලට ඇවිත් කුවේට්වලින් ප්‍රයිවට් ජෙට් එකක පහුවදා ලංකාවට ආවා. ලඟම තිබුණ ටවර් එක තිබුණෙ හම්බන්තොට. මිටර් 60ක් උස ටවර් එකක්. මම කිව්වා ලඟම තියන ටවර් එක තියෙන්නේ හම්බන්තොට. එතෙන්ට යන්න අවශ්‍යයයි කියලා. මේ හමුදා ජ්‍යෙෂ්ඨයා කිව්වා” ඔව් අපි ඒක දන්නවා” කියලා. ඔවුන් ලෝකය ගැන මොනතරම් නිරීක්ෂණයකින්ද ඉන්නේ කියන එක මට තේරුණා.
ඔහු මාත් එක්ක ටවර් එක බලන්න ගියා. ගිහින් ටවර් එක උඩට නැග්ගා. නැගලා නිරික්ෂණය කරලා ඒ ආකාරයේ සන්නිවේදන කුලුනු හයක් ඇනවුම් කළා.
ඒ සන්නිවේදන කුලුනු ඊජිපතුවයි ඊශ්රයාලයි අතර තියන සනායි අර්ධද්වීපයේ බෝඩර් එකට. අපි එතෙන්ට අපේ සන්නිවේදන කුලුනු එක්පෝට් කළා.
අන්තිමට අපි යූ.එස් ආමි එකටත් ටවර් විකිණුවා. ඒක එක්සිමෝලට අයිස් විකුණනවා වගේ වැඩක්.
-
කෝච්චි පෙට්ටි අලුත්වැඩියාව පටන් ගත්තු හැටි…
“ඒකත් යුද්ධ කාලෙ වෙච්චි වැඩක්. වර්ෂ 2002 දි. ඒ වෙනකොට සෙන්ට්‍රල් බෑන්ක් එකටත් බෝම්බ ගහලා. මොනව හරි වැඩක් හොයනවා අපි කරන්න.
මේ අතරේ කෝච්ච් පෙට්ටි කපලා පරණ යකඩවලට ඉන්දියාවට යවන කොන්ත්‍රාත්කරුවෙක් අපට කිව්වා කෝච්චි පෙට්ටි කපලා දෙන්න පුලුවන් ද ගානක් දෙන්න කියලා. ඒකත් වෙලාවෙ හැටියට කමක් නෑනෙ. මම ගියා බලන්න. ගිහින් බැලුවම දුකේ බෑ. පරණ යකඩවලට කපන්න නෙමෙයි. මේ කෝච්චි පෙට්ටි ගොඩදාගන්න පුලුවන්.
පෙට්ටි පරණ යකඩවලට කපන්න ගිය මම දුම්රිය දෙපාර්තමේන්තුවට ගිහින් දුම්රිය සාමාන්යාධිකාරීවරය හම්බවුනා. ඒ කාලේ GMR ප්‍රියාල් සිල්වා. මම ඉතින් මගේ යෝජනාව කිව්වා. ඇත්තටම මම කියන මේ කතාව ඇහුවම ඔහුට හිතෙන්න ඇති මේ මනුස්සයට පිස්සු කියලා. ඒක සාධාරණයි. ඔහු මගේ කතාව සිරීයස් ගත්තේ නැතත් ප්‍රධාන දුම්රිය ඉංජිනේරුවරයා ලඟට මා යොමු කළා. ඔහු විජේසේකර කියලා මහත්මයෙක්.
අලුතින් දුම්රිය මැදිරියක් ගේන්න මිලියන 150ක් යනවා ඒ කාලේ. දැන්නම් ඒ ගණන මිලියන 200කට වැඩියි. . මේ මැදිරියක් මිලියන 50කින් අලුත්වැඩියා කරගෙන අවුරුදු 10ක් කිසිම ප්‍රශ්නයක් නැතිව දුවන්න පුලුවන් කියලා මම දුම්රිය දෙපාර්තමේන්තුවට පැහැදිලි කළා.
මම කිව්වා ඔබතුමාට මේ වැඩේ කරන විදිහ මම කියන්නම්. එතකොට මේක ප්‍රතිඵලයක් තියනව ද නැද්ද කියලා ඔබතුමා තීරණය කරන්න කියලා. මම ඔහුට වැඩේ කරන හැටි කිව්වා. ඉතාම හොඳින් මට ඇහුම්කන් දුන්න ප්‍රධාන ඉංජිනේරුවරයා මේ ව්‍යාපෘතිය ලිඛිතව ඉදිරිපත් කරන්න කියලා මට යෝජනා කළා.
ඒ වකවානුවේ රටේ ජනාධිපතිවරිය චන්ද්‍රිකා මැතිණිය. එතුමිය ලඟටත් ව්‍යාපෘතිය ගියා. නමුත් එය ප්‍රවාහන අමාත්‍යාංශය පැත්තෙන් අනුමත කරලා දෙන්න ඉල්ලපු නීති විරෝධී මුදල වැය කරන්න සූදානම් නොවුන නිසා ව්‍යාපෘතිය මගහැරුණා. විවිධ සිදුවීම් පෙළ ගැහුනේ වැඩේ නොකෙරෙන විදිහට නිසා මම එ් සඳහා උනන්දු වීම නැවැත්තුවා. නමුත් මම ඉදිරිපත් කළ ලේඛන දුම්රිය දෙපාර්තමේන්තුව තුළ තිබුණා.”
ඊට පස්සේ එකපාරටම 2015 ටෙන්ඩර් එකක් පත්තරේ වැටුණා. ටෙන්ඩර් එක ඩොකියුමන්ට් එක තියෙන්නේ මම ඉදිරිපත් කළ තාක්ෂණියක ක්‍රමවේදය එක්ක. මට ඉතාම පහසු වුනා ඒකට ඉදිරිපත් වෙන්න. දින කීපයකින් ලියකියැවිලි ඉදිරිපත් කළා. ඒ ටෙන්ඩර් එක අපට ලැබුණා.
“ව්‍යාපෘතියට මම ගත්තේ ට්‍රේනින් කොලේජ්වල මාස තුන හතර කෝස් කරලා එළියට ආව තරුණ තරුණියො. ගෑණු ළමයි ගත්තා ඩිසයිනින්වලට. මාස දෙකක් තුනක් යනකම් මම ඒ අය එක්ක ඉඳන් වැඩ කරන විදිහ කියලා දිදී වැඩ ගත්තා.”
මම කෝච්චි පෙට්ටියේ හැම කොටසක්ම ඩිසයින් කළා. ඒ ඩිසයින් එකට දුම්රිය ඉංජිනේරුවන්ගේ අනුමැතිය ගත්තා. ඊට පස්සේ කොටස් සාම්පල නිශ්පාදනය කළා. ඒවා පෙන්නලා අවශ්‍ය අඩුපාඩු හදලා අවසන් සාම්පලයට අනුමැතිය ගත්තා. ඊට පස්සේ තමයි දුම්රිය පෙට්ටියට අත තිබ්බේ. මේ ක්‍රමවේදය නිසා ඔවුන්ට අප පිළිබඳව චෝදනාවක් කරන්න බැරි වුනා. “
ඒත් ඉතින් යුනියන් ස්ට්‍රයික් ආවා. මාධ්‍ය දිගින් දිගටම ගහන්න ගත්තා. අපි කවුරුත් එක්කවත් ගැටෙන්න ගියේ නෑ. අපේ පාඩුවේ අපේ වැඩේ කළා.
අපේ මුල්ම කෝච්චි පෙට්ටිය එළියට එන්නේ 2017දි. හරිම සතුටුයි අවස්ථාවක් ඒක. මේ වනවිට කෝචිචි පෙට්ටි 265ක් අලුත්වැඩියා කරලා තියනවා.
![](http://lankasara.com/wp-content/uploads/2023/09/16-5_3.jpg)
-
මේඩින් ශ්‍රී ලංකා කෝච්චි පෙට්ටි අපනයන සිහිනය…
ඒත් අලුත්වැඩියා කරනවට වඩා හරිම ලේසියි අලුතින් කෝච්චි පෙට්ටියක් හදන එක. සමහර දිරාපත් කෝච්චි පෙට්ටිවල චැසියෙ ඉඳන් අලුතින් හැදුවා. පරණ එකේ චැසි නම්බර් විතරයි තියෙන්නේ.
මම හිතන්නේ මේ ව්‍යාපෘතිය තමයි රටට වැඩිම ලාභයක් ගෙනාපු ලාංකික ව්‍යපෘතිය. මේ කෝච්චි පෙට්ටි 265ක ව්‍යාපෘතියෙන් විතරක් රටට රුපියල් මිලියන 46800ක් ඒ කියන්නේ බිලියන 46.8ක් ලාබයි. මගේ සිතිවිල්ල වුනේ මේකයි… වැඩේ හරියටම කළ යුතුයි. වැඩක් ලාබයට කරලා මුදලක් ඉතිරි කරගෙන අපරාධකාරයෙක් විදිහට මේ කෙටි ජීවිත කාලය ගෙවලා මැරිලා යන්න මට කවදාවත් අවශ්‍ය නෑ. ඒ සිතිවිල්ල නිසා වෙන්න ඇති මේ ව්‍යාපෘතිය මේ තරම් සාර්ථකවුනේ.
දැන් මේ ව්‍යාපෘතිය ඉවරයි. අන්තිම ටික යන්නේ. මාසෙකට කරන ප්‍රමාණය අඩුයි. මාස හතක් අටක් නතර කරලා තිබිලා පටන් ගත්තේ.මේ ව්‍යාපෘතිය නිසා නව කර්මාන්තක් ලැබුණා. එක කාර් එකක් හදන්නෙ නැති රටේ කෝච්චි පෙට්ටිවලට සප්ලයි චේන් එක හැදුනා. මේක නවත්වන්න එපා කියල මං යෝජනා කළා. මා නැතිවුනත් කවුරුහරි මේ ව්‍යාපාරය කරයි. රටට ගොඩාක් දේ ඉතිරි වෙයි.
දැන් මම උත්සාහ කරන්නෙ අලුතින්ම කෝච්චි පෙට්ටි හදලා එක්ස්පෝට් කරන්න. පිලිපීනයට ඒ සඳහා ලොකු අවස්ථාවක් තියනවා. මියන්මාරයට ලොකු අවස්ථාවක් තියනවා. මා පිලිපීනයෙ ගිය සතියෙ හිටියේ. ඔවුන් කිව්වා අලුතින් හදපු පෙට්ටි කීපයක් රේල්වේ එකට දාන්න. ඔයාගේ රෙකෝඩ් එක හදා ගන්න. අපි කෝච්චි පෙට්ටි ගන්නම් කියලා. මොකද එක පෙට්ටියක්වත් හදපු නැති කොම්පැණියකින් නිශ්පාදන මිලදි ගන්න බැරි නිසා..
පවතින විශාල බාධක එක්ක මේ අවස්ථාව ලැබුනොත් රටට විශාල අවකාශයක් විවර වේවි. වැඩි කාලයක් පාවිච්චි කළ හැකි ඉතාම ඉහළ තත්ත්වයෙන් යුතු නවීන දුම්රිය මැදිරියක් නිපදවා, නඩත්තු කටයුතු රට තුළම කරගෙන විශාල විනිමය ප්‍රමාණයක් ඉතිරි කරගන්න හැකිවේවි. රටට විශාල අතුරු නිශ්පාදන ප්‍රමාණයක් හැදේවි. නව දුම්රිය මැදිරි නිශ්පාදනය කර අපනයනය හරහා විශාල විදේශ විනිමයක් ලැබේවි. “
මේ අතිශය සුබවාදී මනුෂ්‍යයා අපට බොහෝ කියා දෙමින් ඇත. එහෙත් මෙවැනි මිනිසුන් සඳහා රටක් ලෙස කළ යුතු දේ කිරීමට අප සූදානම් ද?. අතට ලැබෙන කුට්ටිය මිස ඉන් එපිටට රටක අනාගතයක් නොපෙනෙන කාලකණ්ණින් සහිත රටක මෙවන් කර්මාන්තයක් සඵල වන්නේ නම් මේ දුගී හිඟන බවින් එක් අඩියක් අපට ඉදිරියට තැබිය හැකිය.
හිඟන්නන් වී සේ වැළලෙනවා ද?, මිනිසුන් මෙන් වැටුණු වලෙන් ගොඩ එනවා ද යන තීන්දුව ඇත්තේ සිතිවිලි මාත්‍රයක වෙනසක බව කිව යුතුව ඇත. – (සිළුමිණ පුවත්පත ඇසුරිනි)