මින් පෙර ගිනස් වාර්තා 07ක් පිහිට වූ හඟුරන්කෙත තරුණයෙක් කිලෝ ග්රෑම් 22 ක බරින් යුත් කොන්ක්‍රීට් කැට 26 ක් දෑත් මත රඳවා ගෙන සිටිය දී කුළු ගෙඩියකින් පහර දී විනාඩියක් තුළ ඒවා කඩා දමා නව ගිනස් වාර්තාවක් පිහිටවනු ලැබුවේය.
හඟුරන්කෙත පදිංචි ජනක කාංචන මුදන්නායක නැමැති මෙම තරුණයා අද (29) මෙම ගිනස් වාර්තාව පිහිටුවීම සඳහා කඩා දමන ලද එක් කොන්ක්‍රීට් කැටයක් දිගින් සෙන්ටි මීටර් 40 ක්ද පළලින් මිලි මීටර් 20 ක් ද උසින් සෙන්ටිමීටර් 05 ක්ද විය.
ගිනස් වාර්තාව පිහිටුවීම සඳහා යොදාගත් කොන්ක්‍රීට් කැබලි මහනුවර මහ නගර සභාවේ ඉංජිනේරු අංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ සකස් කර තිබේ.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවය කරනු ලබන ජනක කාංචන මුදියන්සේ ගිනස් වාර්තා 18 ක් පිහිටුවීමේ අභිලාෂයෙන් යුතු අයෙකි.
කිලෝ ග්රෑම් 50 බැගින් වූ තිරිඟු පිටි බෑග් 20 ක් මීටර් 30 ක දුරක් දත්වල අධාරයෙන් රැගෙන යාම, මීල මීටර් 12 වානේ කම්බි 22 ක් තත්ත්පර 48 ක දී හිසේ අධාරයෙන් නැමීම, කිලෝ ග්රෑම් 50 බැගින් වූ අයිස් කුට්ටි 50 ක් අඩි 20 ක් ඉහළ සිට විනාඩි 36 ක දී උදරය මතට හෙළීම, ටොන් 1 1/2 ක් බර වාහන 32 ක් අතඟිලි මතින් ධාවනය කිරීම, මිලි මීටර් 12 වානේ කම්බි 18 ක් විනාඩියක දී දත් ආධාරයෙන් නැමීම, ඇන ලෑල්ලක් මත නිදා සිටිය දී කොන්ක්‍රීට් කැට 35 ක් තත්ත්පර 54 ක දී කුළු ගෙඩියකින් පහර දී කඩා දැමීම, , කිලෝ ග්රෑම් 107 බැගින් වූ කොන්ක්‍රීට් කැට 30 ක් උදරය මත තබා විනාඩි 05 යි තත්ත්පර 45 ක දී කුළු ගෙඩියකින් පහර දී කඩා දැමීම මගින් ඔහු මීට පෙර ගිනස් වාර්තා පිහිටුවා ඇත.
කලකට පෙර මියගිය, ගිනස් වාර්තා 04කට හිමිකම් කියන ගාමිණි වසන්ත ජනක කාංචන ගේ පියා ය.