පසුගිය අඟහරුවා දා (15) පැය දෙකක් ඇතුළත තංගල්ල කුඩාවැල්ලේදී හා මාතර දික්වැල්ලේ දී වෙඩි තබා සිදුකළ ඝාතන ද්විත්වයේ තංගල්ලේ දී සිදුකළ ඝාතනයට යොදා ගත් ටී 56 ගිනි අවිය තංගල්ල විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් පිරිසක් එදිනම (15) දික්වැල්ල පොලිස් වසමේ දික්වැල්ල, උඩගංගොඩ, ඌරුගමුව ප්‍රදේශයේ සිදුකළ වැටලීමකි දී අත් අඩංගුවට ගෙන ඇත.
එම T56 ගිණි අවිය සහ මැගසිනයක් ඝාතනය කළ වෙඩික්කරු විසින් කැළය තුළ සඟවා තිබියදී විශේෂ කාර්ය බලකාය නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දික්වැල්ල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
දැනට අනාවරණය කරගත් තොරතුරු අනුව මෙම ඝාතනය සිදුකර ඇත්තේ යුද්ධ හමුදාවේ කොමාන්ඩෝ රෙජිමේන්තුවේ සේවය කර වසර එකොළහකට පමණ පෙර සේවය හැර ගිය පුද්ගලයකි.
මොහු සහ මොහුගේ සහෝදරයා යම් අපරාධයක් සිදුකර සිරගත වී මීට මාසයකට පමණ ඉහතදී නිදහස ලබා පැමිණි බවටත් කරුණු අණාවරනය වී තිබේ.

දැනට මොවුන් දෙදෙනාම ප්‍රදේශය අතහැර පලා ගොස් සිටින බවට කරුණු අනාවරණය විය.
දික්වැල්ලේ දී ඝාතනය වූයේ එම්.ඒ.එස් පුෂ්පකුමාර (46) නැමැති පුද්ගලයෙකි. මොරටුවේ පදිංචි වී සිටි ඔහු විවාහයෙන් පසු මාතර උයන්වත්ත ප්‍රදේශයේ පදිංචි වී සිට ඇත. පොලිස් විමර්ශනවලට අනුව මේ පුද්ගලයා පාතාලය සමග සම්බන්ධකම් පවත්වා තිබේ.
දික්වැල්ලේ මෝදර සණස බැංකුව අසල පොල් ඉඩමකට මේ පුද්ගලයා ගෙන්වා ඔහුට ටී 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කර තිබේ.
ඔහු ඝාතනය කළ ස්ථානයේ තිබී හිස් පතොරොම්කොපු 21ක් පොලිසිය විසින් සොයාගෙන ඇත.
ඝාතනයට ලක් වූ පුද්ගලයා සිය මිතුරේ සමග යතුරුපැදියකින් මෙම ස්ථානය වෙත පැමිණ ඇතැයි පොලිසිය කියයි.
ඔහුට ලැබුන දුරකථන ඇමතුමකට අනුව මිතුරෙක් කැඳවාගෙන ඔහුට මුදල් ලබා ගැනීමට අවශ්‍ය බව පවසමින් දික්වැල්ල මෝදර සණස බැංකුව අසලට ඔහු ගමන් කර ඇත.
ඝාතනයට ලක් වූ පුද්ගලයා යතුරුපැදියෙන් බැස පුද්ගලයෙක් සමග කතා බහක නිරතව සිටි බවත්, එම පුද්ගලයා ඔහුට වෙඩි තැබූ බවත් ඝාතනයවූ පුද්ගලයාගේ මිතුරා පවසා ඇත. එම අවස්ථාවේ දී තමන් යතුරුපැදිය පණ ගන්වාගෙන පලා ආ බවත් අනතුරුව පොලිසියට පැමිණ ඒ සම්බන්ධව දැනුම් දුන් බවත් මිතුරා පොලිසියට පවසා ඇත.
ඝාතනයට ලක් වූ පුද්ගලයාට වර්ෂ 2006දි සහ වර්ෂ 2015 දී වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙක් ඝාතනය කිරීමට සම්බන්ධව චෝදනා එල්ල වී ඇතැයි පොලිසිය කියයි.
එමෙන්ම මීගමුව, ගම්පහ, දික්වැල්ල ප්‍රදේශවල සිදුවූ අපරාධ රැසකට මෙම පුද්ගලයා සම්බන්ධ බවට චෝදනා එල්ල වී තිබේ.
තංගල්ල කුඩාවැල්ල ප්‍රදේශයේ දී ඝාතනය කර තිබුණේ නිමේෂ් රංග (35) නැමැති බහුදින යාත්‍රාවල ස්කිපර් කෙනෙක් ලෙස සේවය කරන තැනැත්තෙකි. ඔහුට එරෙහිව පාතාල අපරාධ චෝදනාවක් ගොනුවී නොතිබුණ බවද පොලිසිය පවසයි.
නාකුළුගමුවේ පදිංචිව සිටි ඔහුට යතුරු පැදියකින් පැමිණි ඝාතකයන් දෙදෙනෙක් වෙඩි තබා ඝාතනය කර ඇත්තේ මිතුරන් කීප දෙනෙක් සමග කතා කරමින් සිටිය දී නම කියා ඔහුට කතා කරය.
කුඩාවැල්ලේ සහ දික්වැල්ලේ කළ මෙම මිනිස් ඝාතන දෙකට සම්බන්ධ තුවක්කුකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා තංගල්ල සහ දික්වැල්ල පොලිසිවලට අමතරව තව ත් විමර්ශන කණ්ඩායම් 4ක් පත් කර තිබේ.
මේ වනවිට තංගල්ල සහ දික්වැල්ල පොලිස් ස්ථානවලට අනුයුක්ත අපරාධ විමර්ශන අංශ සහ තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය, දකුණු පළාත් අපරාධ කොට්ඨාසය, විශේෂ කාර්ය බළකාය සහ කොට්ඨාස බුද්ධි අංශය මෙසේ විමර්ශනවලට අනුයුක්ත කර ඇති බව විමර්ශන අංශ කියයි.







