පසුගිය ජනපතිවරණය ජයගෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවක් පිහිට වූ පොදුජන පෙරමුණට අද සිදුවී ඇති දේ ගැන කතා කරනවිට ජයන්ත චන්ද්‍රසිරි ගේ චිත්‍රපටයක ඇති තේමා ගීතය සිහිවන බවත් අද අපට ඉන්නට සිදුවී ඇත්තේ අපේ නොවන අපේම ආණ්ඩුවක බවත් . ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්,නීතීඥ සාගර කාරියවසම් මහතා පැවසුවේය.
අද (16) මහනුවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුණ්ඩසාල ආසන බල මණ්ඩල රැස්වීම පැවැති අවස්ථාවේ මහලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේය.
ඔහු ප්‍රකාශ කළේ ගෝඨාභය රාජපක්ෂ ජනපති ධූරයෙන් ඉවත්කර ආණ්ඩුව පෙරලා දැමීමට එදා දියත් වූ කුමන්ත්‍රණය දැන් පියවරින් පියවර පැහැදිලි වන බවය.
මෙයට වසරකට පෙර තෙල්, ගෑස්,විදුලි අර්බුද පැන නැගී රටේ ජනතාව දැඩි ලෙස පීඩා විඳිමින් සිටිය දී රනිල් වික්‍රමසිංහ ජනපති ධූරයට පත්ව සති දෙකක් යන්නට මත්තෙන් රටට එක ඩොලර්යක් හෝ නොඑන පසුබිමක් තිබිය දීත් ගෑස්, ඉන්ධන පෝලීම් නැතිවී විදුලි අර්බුදය ද නිමා වූ බව ඔහු පෙන්වා දුන්නේය.
ගෑස් ටැංකි පිපිරී සිදුවූ මරණ ඉන් පසු වාර්තා නොවූ බවත් ඔහු කීවේය.
මේ සියල්ල පෙළ ගැසෙනවිට රට අස්ථාවර කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බව තේරුම් ගැනීමට හැකි බව කී මහ ලේකම්වරයා එම කුමන්ත්‍රණය ආරම්භ වන්නේ ගෝඨාභය රාජපක්ෂ රුවන්වැලි සෑ මළුවේ දි ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් දා සිට යැයි ද පැවසුවේය.
අද සෞඛ්‍ය ක්ෂේත්‍රයේ එන්නත් ප්‍රශ්න,සේලයින් ප්‍රශ්න මතු කරමින් ක්‍රියාත්මක වන්නේ ද එවැනිම කුමන්ත්‍රණයක් යැයි ද මහලේකම්වරයා කීවේය.
මීළඟ ජනපතිවරණයේ දී සුදුසුම ජනපති අපේක්ෂකයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඉදිරිපත් කර ජයග්‍රහණය කරා මෙහෙවා ඉන් පසු යළිත් වතාවක් ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවන බව මන්ත්‍රීවරයා පැවසුවේය.







