අනුරාධපුර – පර්සි කුරුනේරු
-
නවක සිසුන් නිරුවත් කර සිසුවියන්ට බලන්න සලස්වලා… රෑ තිස්සේ සිසුවියන්ගේ නේවාසිකාගාරවලට ගොස් වාචිකව අතවර කරලා…
-
දෙමව්පියන් ලඟ වීඩියෝ පට සහ හඬ පට… තවත් ඉවසිය නොහැකි බවත් නීතිය ඉදිරියට යන බවත් කියයි!
අනුරාධපුර විශ්වවිද්‍යාල විද්‍යායතනය (වෘත්තිය විශ්වවිද්‍යාලය) සඳහා මීට මාසයකට පමණ පෙර තෙවර්ෂ උසස් තාක්ෂණ ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීමට බඳවා ගත් නවක සිසුන්ට එහි ජ්‍යෂ්ඨ සිසුන් විසින් ලබා දෙන අමානුෂික නවක වදය ඉවසා දරාගත නොහැකිව මේ වනවිට නවක සිසුන් අට දෙනෙක් පමණ එම පාඨමාලාව හැදෑරීම හැර ගොස් ඇති බව විශ්වවිද්‍යාල ආරංචි මාර්ග පවසයි.
මේ අතර ජ්‍යේෂ්ඨ සිසුන් විසින් පිරිමි සිසුන් විසින් සතියේ අධ්‍යාපනික කටයුතු පැවැත්වෙන දිනවල එම විද්‍යායතනයේ නාන කාමර වෙත නවක සිසුන් කැදවාගෙන ගොස් කලිසම් සහ යට ඇදුම් බලහත්කාරයෙන් ගලවා පසුව නවක සිසුවියන්ට එම දර්ශනය නැරඹීමට සලස්වන බවද පැවැසේ.
තවද ඇතැම් ජ්‍යෙෂ්ඨ සිසුන් දැනුම්වත් කිරිමේ රැස්විම් පැවැත්වීමේ මුවාවෙන් රාත්‍රී කාලයේ නවක සිසුවියන් ලැගුම් ගෙන සිටින නවාතැන් පොලවලට ගොස් ඔවුන්ගේ මව්වරුන් සිහිපත් කොට පරුෂ වචනයෙන් බැන වදින බවත් එම සිසුවියන් සිය ඥාතීන්ට පවසා ඇත.
මේ නිසා ඇතැම් නවක සිසු සිසුවියන් මේ වනවිට දැඩි මානසික ආතතියකින් පෙළෙන බවත් විශ්‍රාමික රාජ්‍ය නිලධාරියෙකු පැවැසීය.
ඒ හා සම්බන්ධ සියලු තොරතුරු ඇතුළත් වීඩියෝ පට හා හඩ පට පවා ඇතැම් වැඩිහිටියන් සතුව ඇතැයි ඔහු කීවේ අවශ්‍ය අවස්ථාවක නීතිමය පියවර ගැනීමට එම වැඩිහිටියන් සූදානමින් සිටින බව ද දන්වමිනි.