ශ්‍රියානි විජේසිංහ –
විෂයභාර ඇමතිනිය හෝ ජනාධිපතිවරයාගේ අනුදැනුමකින් තොරව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බන්ඩාර එම තනතුරෙන් ඉවත් කළේ කාගේ උවමනාවට යන්න බරපල ගැටලුවක් මතුවන බව රට රකින ජනහඩ සංවිධානයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කළහ.
ආයතනයක් තුළ නිර්භයව තීන්දු තීරණ ගතහැකි ක්‍රියාශීලි අධ්යක්ෂවරයෙක් ලෙස ඔහු හඳුන්වා දිය හැකි බවත් ඔහුගේ සෘජු ක්‍රියාවන්ට අකමැති පුද්ගලයින්ගේ පහත් ක්‍රියාවක් ලෙස මෙය හැඳින්විය හැකි බවත් ආනන්ද හිමියෝ ලංකාසර කළ විමසුමකදී පැවසූහ.
කොරෝනා වසංගතය පැතිර ගිය පළමු අවස්ථාවන් හිදී පීසීආර් පරික්ෂණ ඉතා ඉක්මනින් කිරීම සඳහා අවශ්‍ය වටාපිටාව සකස් කිරීම හා එම උපකරණ සපයා ගැනීම ඔහු විනිවිද භාවයකින් සිදු කළ බවත් එය දරාගැනීමට නොහැකි පුද්ගලයින් මෙම මාරුවීම පිටුපස සිටිය හැකි බවත් උන් වහන්සේ අවධාරණය කළහ.
ඔහු තනතුරෙන් ඉවත් කිරිම සම්බන්ධයෙන් මේ වන විට ආගමික නායකයින් මාධ්‍ය, රටේ ජනතාව, ඇතුළු විශාල පිරිසක් කථා කරන බැවින් හා එයින් වැටහී යන්නේ ඔහුගේ සේවය රටම පිළිගෙන ඇති බව යැයිද ආනන්ද හිමියෝ පැවසූහ.